අටදාහ පන්සීයට  බැස්සවීම

708

මීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභාවලට පත්කරගනු ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාව හරි අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ක් සිටිති. එසේ නොවන මන්ත්‍රීවරුන් අටදහසක් සිටිති. මේ ගණනට පළාත් සභා මන්ත්‍රීවරුන්ද එකතු කළ විට ලොකු සංඛ්‍යාවක් පෙන්නුම් කරනු ලැබේ. පෙරකී මන්ත්‍රීවරුන් අටදාහක ප්‍රමාණය හාරදහස තෙක් අඩුකිරීම ජනාධිපති වික්‍රමසිංහගේ අරමුණ වී තිබේ. ඒ සමගම ජනසභා නමැති වැඩපිළිවෙළක් සංස්ථාපනය කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.

 ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි විසිලක්‍ෂයකි. එම ජනගහනයට සාපේක්‍ෂව මෙතරම් විශාල ප්‍රමාණයක් මන්ත්‍රීවරු සිටීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව ස්වකීය දේශීය නිෂ්පාදන කටයුතු වලදී මන්ත්‍රීවරුන් නිෂ්පාදනය කිරීමට ප්‍රමුඛත්වයක් දී ඇති බවය. මන්ත්‍රීවරයකු යනු දේශපාලන සතුටු කදම්භයකි. එනම් යම් කෙනෙකු දේශපාලනය කිරීමේ සතුට එක් තැනකදී සම්පූර්ණ වන්නේ ඔහුට හෝ ඇයට මන්ත්‍රී ධුරයක් ලැබීමෙනි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී, මහ නගර සභා මන්ත්‍රී, සුළු නගර සභා මන්ත්‍රී යනාදී මේ සියලු දෙනා දේශපාලන සතුටු නමැති මිනුම් දණ්ඩේ එක් එක් අවස්ථාවන්ය. සුළු නගර සභා මන්ත්‍රී එම ධුරය ලැබීමෙන් පසු සතුටට පත්ව මහනගර මන්ත්‍රීකෙනෙකු වීමට කල්පනා කරයි. ඔහුගේ ඊළඟ අරමුණ පළාත් සභා මන්ත්‍රීවීමය. ඔහුගේ අවසන් අරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කල්පනා කරන්නේ නියෝජ්‍ය ඇමැති, රාජ්‍ය ඇමැති, ඇමැති, අගමැති යන තනතුරු හරහා ජනාධිපති ධුරයට පත්වීමය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ අවසන් අරමුණද මෙයම වේ. එබැවින් මේ සියලු තනතුරු දේශපාලන සංතෘෂ්ටියේ විවිධ අවස්ථා ලෙස නිරූපණය කළ හැකිය. කෙසේ වුවද ලංකාව වැනි රටකට මහජන මන්ත්‍රීවරුන් අටදහසත්, නවදහසත් අතර ප්‍රමාණයක් නඩත්තු කළ නොහැක. සමහර කුඩා රටවල ජනගහනයත් නවදහසකි. ඒ නිසා මේ රටේ පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාව හාරදහසකට බැස්සවීම නොව පන්සීයකට පමණ බැස්සවිය හැකි නම් එය ඉතා වටිනා බව සියලු දෙනා මතක තබාගත යුතුය.

 ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු, එහි යෙදෙන වැඩිදෙනාට රැකියාවකි. දේශපාලනය මගින් විශාල වශයෙන් මුදල් ඉපයිය හැකි බවට මතයක් පවතින අතර ඒ මතය සම්පූර්ණයෙන්ම ඇත්තකි. දේශපාලනඥයන් වැඩිදෙනා ස්වකීය බඩරස්සාව පටන් ගන්නේ අවමංගල්‍යාධාර සමිතිය හෝ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති නැත්නම් ලේකම් ලෙසය. මෙය දේශපාලනයේ පහේ ශිෂ්‍යත්ව විභාගය හා සමානය. ග්‍රාම සංවර්ධන සමිතිය හෝ මරණාධාර සමිතිය ඔස්සේ ලබාගන්නා ජනප්‍රියතාව මත කෙනෙකුට සමුපකාර ඡන්දයට ඉදිරිපත් විය හැකිය. ඉන් පසු ඔහු ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාවටය. මෙතැනදී ඉතා සුළු වශයෙන් ගාණක් කපා ගැනීමේ හැකියාව ඔහුට ලැබේ. 1970-77 කාලයේ පැවැති සමගි පෙරමුණ ආණ්ඩු සමයේදී නම් සමුපකාර සමිතියක සභාපති වීම ඉතාම වාසිදායක වැඩක් විය. එකල උම්බලකඩ, සීනි, රට ඉදි, සහල්, පරිප්පු, ලූනු, ටින් මාළු, පොප්ලින් රෙදි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය බොහොමයක් දෙන ලද්දේ සලාක ක්‍රමයටය. සලාකයට බඩු දෙන්නේ වෙළෙඳ පොළේ එම බඩු හිඟ බැවිනි. මේ බඩු සමුපකාරයෙන් පන්නා වැඩි මිලට කළුකඩේට විකිණීමේ හැකියාව සමුපකාරයේ සභාපතිටත් ඔහුගේ අතයට සිටින සමුපකාර සභිකයන්ට සහ මැනේජර්ටත් අවස්ථාව ලැබේ. අද වන විට සමුපකාරයට එතරම් තැනක් නැත. ඒ වැදගත් වන්නේ දේශපාලනය කරන කෙනෙකුට ටිකක් වෙලා නැවතී සිටීම සඳහා පාවිච්චි කළ හැකි නැවතුම්පළක් ලෙස පමණි. මේ නැවතුම්පළෙන් නික්ම යන සමුපකාර සභාපතිතුමා ක්‍රමයෙන් මහජන මන්ත්‍රීවරයකු දක්වා උසස් වේ. දේශපාලනයට එනවිට එතුමා බට පතුරකි. එකල එතුමාට ඇත්තේ බයිසිකලයක් පමණකි. එහෙත් දහඅවුරුද්දක් පමණ දේශපාලනයේ නිරතවීමෙන් පසු විශාල පිටිගෝනියක් තරමට ඇඟපත දියුණු කර ගැනීමටත්, පැජරෝ, මොන්ටෙරෝ, වී 8 යනාදී වාහන පාවිච්චි කිරීමටත් ඇඟ අඩුකරගැනීමට ජිම් එකට යෑමටත්, මෙඩිකල් ටෙස්ට් සඳහා සිංගප්පූරුවේ මවුන්ට්එලිසබෙත් රෝහලට යෑමට එතුමාට වත්කමක් ලැබේ. අතේ සතේ නැතිව දේශපාලනයට පැමිණි ලංකාවේ මිනිසුන්ගෙන් සියයට අනූනවයක්ම සිය දේශපාලන ජීවිතය මස්ඨකප්‍රාප්ත කරන්නේ මේ ආකාරයෙනි. මේ රටේ වැඩිදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා ගැනත් ඇමැති මණ්ඩලය ගැනත්, රාජ්‍ය ඇමැති සෙට් එක ගැනත් කතා කළද ජනතාව තුළ සැඟවී සිටින පළාත් පාලන මන්ත්‍රීවරුන් අටදහස ගැන කතා කරන්නේ නැත. ඉන්දියාව හා සසඳන කල ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රී සංඛ්‍යාව ඉතා වැඩි බව බොහෝ දෙනෙක් කියති. එය තර්කයක් වශයෙන් ගත්කල සත්‍යයකි. එහෙත් පළාත් පාලන මන්ත්‍රීවරුන් අටදහසකට යන වියදම ගණන් බැලුවොත් පාර්ලිමේන්තු තුන හතරක් නඩත්තු කරන්න යන වියදම එයට සමාන බව බොහෝ දෙනකුට පෙනී යනවා ඇත.

 1970 වෙන් පසු මෙරට දේශපාලනයේ පරිහානිගත යුගය ඇරඹේ. මහජන නියෝජිතයන් රාජ්‍ය දේපළ සොරකම් කිරීමට පටන් ගන්නේ මේ යුගයේදීය. ලංකා ඉතිහාසයේ පළමු වන වතාවට තානායම් කාමර තුළ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තරුණියන්ට ගුරුපත්වීම් ලබාදීම සිදුකරන්නේද 1970 දී පටන් ගන්නා ආණ්ඩු කාලයේදීය. හැබැයි සමගි පෙරමුණ ආණ්ඩුව දාමරික ආණ්ඩුවක් නොවේ. එම ආණ්ඩුව තුළ ස්ත්‍රී දූෂකයන් සහ සොරුන් සිටියද බයිසිකල් චේන් කාරයන් සිටියේ නැත. හැබැයි, 1977 දී බලයට පත්වූ ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩු කාලයේදී බයිසිකල් චේන් අඩුවද සම්පූර්ණ වී රටේ මුළු මහත් දේශපාලන ලෝකයම කුණු ගඳගහන මඩවළක් බවට පත්විය. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලන සමයේදී හඳුන්වාදුන් මනාප ක්‍රමය මේ රටේ දේශපාලනයට ගැසූ හෙණ ගෙඩියක් ලෙස සැලකීමට පුළුවන. මේ හෙණගෙඩිය එකවරක් ගසා පත්තු වී අවසන් නොවන අතර සෑම අවුරුදු පහකට වරක්ම පත්තු වන හෙණ ගෙඩියක් බවට පත්ව තිබේ. හැම අවුරුදු පහකට සැරයක්ම මේ රටේ මහ ඡන්දයක් ඇත. ඒ මහ ඡන්දයේ තීරණාත්මක සාධකය වන්නේ මනාපයයි. මිනිසුන්ගේ මනාප ලබාගැනීම සඳහා බත් පැකට්, අරක්කු, සල්ලි, ටකරන්, ඇස්බැස්ටෝස් ෂීට්, ගඩොල්, සිල් රෙදි, ලිංගික අල්ලස් ඇතුළු නිමක් නැති බඩු ලැයිස්තුවක් ලබාදිය යුතුය. කිසිදු රටකට මේ ආකාරයෙන් ඉදිරියට යෑමට බැරිය. එබැවින් පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අටදාහේ සිට පන්සීයට බැස්සවිය හැකි නම් එය ඉතාම යෝග්‍යය.

advertistmentadvertistment
advertistmentadvertistment