අටමස්ථානය පොබකළ පල්ලේගම සිරිනිවාස නායක හාමුදුරුවෝ

210

අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මෙම මස 22 වන දින සිදු කෙරිණි. මෙම ලිපිය උන්වහන්සේට උපහාර පිණිසය.

 අනුරාධපුර උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ජීවමාන බුදු රජාණන් වහන්සේ ලෙසින් අප රටට මහත් ආශිර්වාදයක් රැකවරණයක් සලසයි. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය දැරීමට අවස්ථාව සැලසීම යනු පුරාකෘත මහා පුණ්‍ය කර්මයක අග්‍ර ඵලයකි. එම මහා පුණ්‍ය කර්මයේ ඵල උපරිමයෙන් නෙළා ගත් යතිවරයන් වහන්සේ නමක ලෙස අපවත් වී වදාළ ආචාර්ය ගෞරවාර්හ පල්ලේගම සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ කර ගත් රුවන්වැලි මහා සෑය ඇතුළු ඓතිහාසික අටමස්ථානයේ නායක පදවිය මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුම් අනුනායක පදවියක් වශයෙන් ද සම්මානයට පාත්‍ර වූ පදවියක් වන අතර එම උතුම් පදවියට පත් වූ ළාබාලතම යතිවරයන් වහන්සේ ලෙස විසි පස් වසරක් පුරා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නාහිමි නමක ලෙස උන්වහන්සේ හැඳින්විය හැකිය.

 1953 ජනවාරි මස 02 වන දින මාතලේ දිසාවේ පල්ලේගම ග්‍රාමයේදී එහි විසූ කරුණාසිංහ මුදියන්සේලාගේ ටිකිරිබණ්ඩාර නිලමේතුමා හා දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි යන පින්වත් යුවළ මවුපියන් කොට උපත ලද උන්වහන්සේ සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුක්ත පවුලේ වැඩිමහල් දරුවා විය. කිතුල්හිටියාව පාසලින් 07 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාළ උන්වහන්සේ පෙර පින් බලවත්ව නැගී ආයෙන් පැවිදි බිමට පත්වීමට ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය විහාරයට පැමිණෙන්නේ 1968 වර්ෂයේදීය. ඒ හුදෙකලාව නොව ගමේදී මිතුරෙකු මෙන්ම ඥාතිවරයෙකු ද වූ අපවත්වන තුරුම පැවිදි සොහොයුරා ලෙස සෙනෙහෙබරත්වයෙන් සහාය වූ වත්මන් රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරි ගෞරවාර්හ පල්ලේගම හේමරතන නාහිමියන් සමඟය. එවකට රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරි ධුරය ඉසිලූ පල්ලේගම ධම්මරක්ඛිත නාහිමියෝ මුන්වහන්සේලාගේ ගමේ මෙන්ම ඥාතිවරයෙකු ද වූ මහා තෙර නමකි.

 1997 වර්ෂයේදී අටමස්ථානාධිපති පදවිය හෙබ වූ ගෞරවාර්හ පල්ලේගම ඥානරතන නාහිමියන් අපවත් වූ හෙයින් අටමස්ථාන කාරක සභාවේ අනුමැතිය පරිදි එවකට 44 වන වියෙහි පසු වූ පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අටමස්ථානාධිපති පදවියට පත් කොට මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේට හා බෞද්ධ කටයුතු කොමසාරිස්ට දන්වා යවන ලදී. එහිදී ඊට අනුමැතිය ලදින් එවකට ජනාධිපති ධුරය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මැතිනියගේ අත්සනින් සන්නස් පත්‍රයක් මගින් උන්වහන්සේට අටමස්ථානාධිපති පදවිය ප්‍රදානය කරන ලදී.

 ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් ගෞරවාදරයට ලක්ව වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භාරකාරත්වය පැවරෙන මෙම උතුම් පදවිය ජීවමාන බුදුරජාණන් වහන්සේට උදේ හවා බුද්ධෝපස්ථානය කිරීමට ලැබෙන මහා පුණ්‍යමය අවස්ථාවකි. පදවියකට එහා ගිය මහා පුණ්‍ය කර්මයකට අවස්ථාව උදා වන මෙම පුණ්‍යවන්ත තනතුර භාවිත කරමින් උන්වහන්සේ සිය ජීවිතයේ අප්‍රමාණ පින් සිදු කර ගත් බව කිව යුතුය. උඩමළුවේ නායක හාමුදුරුවෝ ලෙසින් ද බහුජන ගෞරවාදරයට ලක් වූ උන්වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිය පණ දෙවෙනි කොට ආරක්ෂා කරමින් විහාර පරිශ්‍රය දෙස් විදෙස් පින්වතුන්ගේ ප්‍රසාදය ඇතිවන අන්දමින් හා ඔවුන්ගේ අවශ්‍යතා සපිරෙන අන්දමින් වැඩි දියුණු කිරීමට කැප වූහ. ශ්‍රීමහා බෝධීන් වහන්සේ වටා දෙවැනි රන්වැට ඉදි කිරීම, දෙවැනි රන්වැට පහතින් පිහිටි මළුව පුළුල් කර ආරක්ෂක ගේට්ටු සවි කිරීම, බෝමළුව වටා පිහිටි ශ්‍රී දළදා පෙරහැර මාවත නවීකරණය කිරීම, මහා ප්‍රාකාර බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, සන්නිපාත ශාලා නමින් දස දහසකට අධික පිරිසකට රැස්විය හැකි ධර්ම ශාලාවක් ඉදි කිරීම, උඩුවේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන දානපතියන් පිරිසකගේ මැදිහත්වීමෙන් බෝධීන් වහන්සේට ස්වර්ණමය තහඩුවලින් ආධාරකයක් සවි කිරීම, ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයෙහි රන්වියනක් කරවීම, නව සංඝාවාස ඉදි කිරීම, පාගමනින් ගමන් කළ නොහැකි අයට රෝද පුටුවෙන් ගමන් කළ හැකි වන පරිදි මාර්ග පහසුකම් සැලසීම, සනීපාරක්ෂක පහසුකම් සැකසීම, ආදී කාර්යයන් රාශියක් උන්වහන්සේ රාජ්‍ය අනුග්‍රහය ද ලබා ගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගය මත අටමස්ථානාධිපති පදවිය දැරූ පස්විසි වසර පුරා සිදු කර ඇති බව කෘතවේදිත්වයෙන් සඳහන් කළ යුතුය.

 අටමස්ථානාධිපතින් වහන්සේ වශයෙන් ඊට අදාළ සියලු විහාරස්ථානයන්හි විහාරාධිකාරීන් වහන්සේලාට නායකත්වය ලබා දෙමින් එම ස්ථාන දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහයන් සලසා ගනිමින් ඉටු කළ සේවාව අප්‍රමාණය. පෙර රජ දවසින් පසුව අනුරාධපුර අටමස්ථානය මෙතරම් දියුණුවක් කරා ගෙන යෑමට නාහිමියන් ගත් උදාර ක්‍රියා මාර්ග හා කැපවීම සදානුස්මරණිය වනු ඇත. දහස් ගණනක් වන්දනාවට පැමිණෙන මෙවන් ස්ථානයක විහාරාධිපතීන් වහන්සේට උදේ පටන් රාත්‍රී දක්වා පැමිණෙන අය සමඟ සුහදශීලිව කථා බස් කරමින් කල්ගත කළ නොහැකිය. පැමිණෙන කවුරුත් නායක හාමුදුරුවන් බැහැ දැකීමට කථා බස් කිරීමට කැමතිය. එහෙත් එය ප්‍රායෝගිකව කළ හැක්කක් නොවේ. උඩමළුවේ නායක හාමුදුරුවන්ට ද එය එසේමය. එහෙත් උන්වහන්සේ එළිමහනේ වැඩ සිටින අවස්ථාවන්හි තමන් වහන්සේ හමුවට පැමිණෙන ගිහි පැවිදි කා සමඟත් සුහදශීලීව කථා බස් කරන සුහදශීලී අන්‍යයන්ගේ දුකට පිහිට වූ යතිවරයෙකි. රෝහල් නවීකරණය කිරීමට හා ඒවායෙහි අඩු පාඩු සපුරාලීමට, විශේෂයෙන් දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය පහසුකම් සැලසීමට, රජරට මහත් අර්බුදයක්ව පවතින වකුගඩු රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීමට හා එම පවුල්වලට පිහිටවීමට, අසරණ දිළිඳු පවුල්වලට නිවෙස් ඉදි කර දීමට උන්වහන්සේ ක්‍රියා කළහ. නායක හාමුදුරුවරු පන්සල්වලට වී ලැබෙන දේවල් ගොඩගසා ගෙන ඉන්නා බවට චෝදනා කරන බහුතරය උන්වහන්සේලා සමාජයට ඉටු කරන සේවාවන් නොදන්නා බව කිව යුතුය. ඒ උන්වහන්සේලා ඒවා ප්‍රසිද්ධ කර වාසි අපේක්ෂා නොකරන හෙයිනි. සිරිනිවාස නාහිමියෝ ද එලෙස ප්‍රසිද්ධ නොකොට බොහෝ සේවාවන් ඉටු කර ඇති බව කිව යුතුය. උඩමළුවේ පවත්වනු ලබන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම උන්වහන්සේ සැලකිල්ලෙන් කළ කාර්යයකි. එම ධර්මදේශනාවන් අගය කිරීමත්, අඩු පාඩු ඇතොත් ඒවා පෙන්වා දීමත් සිදු කළේ වැඩිහිටි මහා තෙරනමකගෙන් ඉටු විය යුතු වගකීමක් යුතුකමක් ලෙස සලකාගෙනය. කිව යුත්ත කිව යුත්තාට අහිතක් ඇති නොවන ලෙස කීමත්, නිසි පරිපාලනයත්, ශ්‍රද්ධාවත් උන්වහන්සේගෙන් ගත හැකි ආදර්ශයෝය.

 මෙසේ විශිෂ්ට සේවාවක නිරත වූ උන්වහන්සේ සසුනට පිරිමහින ශිෂ්‍ය පුත්‍රයන් ගණනාවක් ඇති කර තිබීම සසුනට මහත් ශක්තියකි. ජේතවන චෛත්‍යාරාමාධිකාරි ශාස්ත්‍රපති, ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමි, මිරිසවැටි චෛත්‍යාරාමාධිකාරි, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශාස්ත්‍රපති, ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කල්ලංචියේ රතනසිරි නාහිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරි ශාස්ත්‍රවේදී කහල්ලේ ඥානින්ද හිමි, ශාස්ත්‍රවේදී රාවාඇල පියතිස්ස හිමි, ශාස්ත්‍රවේදී කුඩාඇලගමුවේ ඥානසිරි හිමි, ශාස්ත්‍රපති මොරගොල්ලේ සිරිරතන හිමි, ශාස්ත්‍රපති පහළතලාවේසුමනසිරි හිමි, ශාස්ත්‍රවේදී කිරින්දේ ඥානදර්ශන හිමි එම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාය.

 උන්වහන්සේ විසින් මහත් කැපවීමෙන් ඉටු කරන ලද මෙම සේවාවන් දෙස් විදෙස් ගිහි පැවිදි කාගේත් ඇගයීමට ලක්වුහ. සම්මානයට ලක් වූහ. මෙසේ උදාරතර සේවාවක නිරත වූ උන්වහන්සේ මඳක් රෝගාතුර තත්ත්වයෙන් කලක් වැඩ සිටි අතර පසුගිය දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ කවුරුත් නොසිතු අවස්ථාවක අපවත්වීම අටමස්ථානයට පමණක් නොව මුළු මහත් සම්බුදු සසුනටම අප්‍රමාණ පාඩුවක් බව සඳහන් කරමින් අපවත් වී වදාළ ආචාර්ය සද්ධම්මජෝතිකධජ ගෞරවාර්හ පල්ලේගම සිරිනිවාස නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව පතමි.

කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
 කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය
 මහියංගණයේ පඤ්ඤානන්ද හිමි
 

advertistmentadvertistment
advertistmentadvertistment