අටමස්ථානාධිපති පල්ලේගම නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනපති අතින් අද

185

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ඊට අදාළ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද (28 වැනිදා) සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වේ.

මෙහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ විජිනිපත පිළිගැන්වීම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරේ. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.

අටමස්ථානාධිපති ධුරයෙහි වැඩවිසූ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීන්දුව අනුව 11 වැනි අටමස්ථානාධිපති හිමි ලෙස අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ තේරී පත් වූහ.

1954 ජුනි 15 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල්වලින් සිය මූලික අධ්‍යාපනය ලැබූහ.

අටමස්ථානාධිපති පල්ලේගම නාහිමියන්ට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනපති අතින් අද

කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින් ම සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.

1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියෝ 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරූහ. 1997 දී රුවන්වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ උන්වහන්සේ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් නිහඬ මෙහෙවරක් සිදු කරන ශ්‍රේෂ්ඨ හිමි නමකි.

පර්සි කුරුනේරු – අනුරාධපුරය

advertistmentadvertistment
advertistmentadvertistment