අට මස් බිළිඳා ගහක් යට තබා අම්මා බූරුවා ගසලා

251

අටමස් බිළින්දා යාබද නිවස ඉදිරිපිට මිදුලේ ගසක් යට තබා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටී කාන්තාවක් ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.අත්අඩංගුවට පත් සැකකරුවන් අතර තවත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු වන බව පොලිසිය කියයි.

මිල්ලනිය, මානාන, කටුගහ දෙනිය ප‍්‍රදේශයේ නිවසක් තුළ මුදල් ඔට්ටුවට පිරිසක් බූරු ගසමින් සිටින බවට මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. ජී. එන්. විජේතුංග මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇත.

පොලිස් නිලධාරීන් එම නිවස වටලන අවස්ථාවේ දී එහි සිටි කාන්තාවන් තිදෙනා ඇතුළු පිරිමි පුද්ගලයා නිවසින් පිටතට පළාගොස් හිස් ලූ ලූ අත වැට මායින් ද කඩාගෙන දිව යන්නට වූ අතර පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් දැඩි පරිශ‍්‍රමයක් දරා එම පිරිස අත්අඩංගුවට ගත් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාරියන් තිදෙනා සහ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුව ආවරණ පැළඳ නොසිටි බව ද පොලිසිය කියයි.

සැකකාරියන් සහ සැකකරු පොලිසිය වෙත ගෙන ඒම සඳහා ජීප් රථය අසලට රැගෙන යන අවස්ථාවේදී එක් සැකකාරියක් අනේ සර් මගේ චූටි පුතා යැයි පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් ඒ පිළිබඳ විමසිලිමත් වීමේ දී යාබද නිවසේ මිදුලේ ගසක් යට තබා සිටි බිළිදා දැකගත හැකිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන්ට එරෙහිව මුදල් ඔට්ටුවට බූරු ගැසීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ආදී චෝදනා කිහිපයක් යටතේ නඩු පැවරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. ජී. එන්. විජේතුංග පොලිස් පරීක්ෂක සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 71332 ශාන්ත, ජනිත් හා ප‍්‍රදීප් මහත්වරු වැටලීම සිදුකළහ.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment