අටලුගම ආයිෂා බිලිගත්තේ කවුද?

747

ඝාතකයන් අල්ලන්න පරීක්‍ෂණ කඩිනම් කරයි

 පියා ඇතුළු පිරිසක් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කරයි

අටලුගම ආයිෂා බිලිගත්තේ කවුද?

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී ඝාතනය කර සිරුර වගුරු බිමකට ගෙනැවිත් දැමුවේ යැයි සැකකෙරෙන 9 හැවිරිදි ෆාතිමා ආයිෂා දැරියගේ මරණය සම්බන්ධ පරීක්‍ෂණ කඩිනම් කිරීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී) සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබේ.

අටලුගම ආයිෂා බිලිගත්තේ කවුද?



 ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (28 වැනිදා) රාත්‍රියේම බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයට ගොස් විමර්ශන අරඹා තිබිණි.

 ෆාතිමා ආයිෂා දැරියගේ මරණයට අදාළව සැකපිට ඇයගේ පියා ඇතුළු තවත් කීපදෙනකු ඊයේ (29 වැනිදා) පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරමින් තිබිණි.

 මීට අමතරව දැරියගේ මව ඇතුළු පවුලේ ඥාතීන්, කුකුළු මස් වෙළෙදසලේ හිමිකරු, ප්‍රදේශවාසීන් ඇතුළු 25 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි බණ්ඩාරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.

 බණ්ඩාරගම, අටලුගම මහපල්ලිය ඉදිරිපිට පදිංචි අටලුගම අල්ගස්සාලි විදුහලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි ෆාතිමා ආයිෂා නැමැති නව හැවිරිදි දැරිය පසුගිය 27 වැනිදා පෙරවරු 10.15 ට පමණ කුකුළු මස් රැගෙන ඒම සඳහා නිවසට මීටර් 200 ක පමණ දුරින් පිහිටි වෙළෙඳසලක් වෙත ගොස් නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී අතුරුදන්වී තිබිණි.

 පැයක් ගත වුවද දැරිය නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මවුපියන් විසින් බණ්ඩාරගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකින් පසු දැරිය සොයා විමර්ශන ඇරඹීය.

 පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව දැරිය සොයමින් සිටින අතරේ දැරියගේ සිරුර නිවසට මීටර් 50 ක් පමණ දුරින් වූ වගුරු බිමක තිබී සොයාගෙන ඇත.

 දැරියගේ නිවසත්, දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගොස් තිබූ වෙළෙඳසලත් අතර මීටර් 200 ත් අතර දුරින් පිහිටි පාළු මාර්ගයේදී යම් අපරාධයක් සිදුවන්නට ඇතැයි සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ‘දිවයින’ ට පැවැසීය.

 කෙසේ වෙතත් මෙය ඝාතනයක් යන පදනමේ පිහිටා පරීක්‍ෂණ පවත්වන බවද හෙතෙම කීය. දැරිය වෙනත් ස්ථානයකදී ඝාතනය කර වගුරු බිමට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක පළකරන අතර දැරිය වගුරු බිම දක්වා ගමන් කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද පොලිසිය කියයි.

 දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පියාගේ පාර්ශ්වයේ පානදුර පදිංචි ඥාතියකු සම්බන්ධයෙන්ද සැකයක් පවතින බැවින් ඒ ඔස්සේද විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

 එම දැරිය අවසන් වරට කුකුළු මස් මිලදී ගැනීම සඳහා වෙළෙඳසලට ගමන් කරන අයුරුත්, ඇය කකුළු මස් රැගෙන වෙළෙඳසලෙන් පිටතට පැමිණ ගමන් කරන අයුරුත් ඒ අසල වූ ආරක්‍ෂිත සී සී ටී වී කැමරාවක සටහන් වී තිබේ.

අටලුගම ආයිෂා බිලිගත්තේ කවුද?

මියගිය ෆාතිමා දරුවන් සිව්දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවායි. ඇයගේ පියා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූ අයකු බවත්, ඔහු කුලී වැඩකරමින් කටයුතු කරන අයකු බවත් පොලිසිය පවසයි.

 දැරියගේ මළසිරුර සෙවීමේදී පොලිස් නිල සුනඛ බෲනාගේ සහායද ලබාගනු ලැබූහ.

 දැරියගේ මළ සිරුර හමුවන අවස්ථාවේ අටලුගම ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එහි රැස්ව සිටි අතර, දැරියගේ සිරුර දැක හඬාවැළපෙන්නට වූහ.

 දැරියගේ මරණයට අදාළ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රාණි උඩවත්ත මහත්මිය පැවැත්වූවාය.

 දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පානදුර රෝහලේදී පවත්වා එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අමතරව දැරියගේ මරණය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය හා බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබේ.

 දැරියගේ පියාගෙන් පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

 දැරිය අදාළ වෙළෙඳසලෙන් කුකුළු මස් මිලදීගෙන නිවසට එන මාර්ගයේ ඇති සී සී ටී වී කැමරා සියල්ලම නිරීක්‍ෂණයට ලක්කරමින් සිටින බවද පොලිසිය කියයි.

 දැරියගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (29 වැනිදා) වනවිටත් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබිණි.

 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සහ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු නිලධාරීන් සහ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්. සී. රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

 දැරියගේ පශ්චාත් මරණ පරීක්‍ෂණයට පෙරාතුව කොවිඩ් පරීක්‍ෂණයක් ඊයේ පෙරවරුවේ සිදුකර තිබූ අතර එම වාර්තා ඊයේ සවස් වනතුරු ලැබී නොතිබිණි.

 කිසියම් පිරිසක් දැරියව දූෂණය කොට ඝාතනය කර වගුරු බිමට ගෙනැවිත් දැමුවේද? යන්න ඇතුළු පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

 දැරියගේ සිරුර වගුරු බිමේ දමා සිරුර පස්වලින් වසා දමා තිබූ බවද පොලිසිය කියයි.

 දැරියගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැති බවත් හෙතෙම කීය.

හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, එස්. ඩී. අබේසිංහ – මහරගම සහ ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment