අට්ටාල ගලවන්න යද්දී  කොටුව යුද පිටියක් වෙයි

393

කොළඹ කොටුව ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇති පිවිසුම් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂකයන් පිරිසක් විසින් සවිකර තිබූ අට්ටාල ඉවත් කිරීමට ඊයේ (20දා) පොලිසිය සහ කැරලි මර්දන බළකාය කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී උද්ඝෝෂකයන් 21 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

උද්ඝෝෂණයේ නිරත පිරිස පෙරේදා (19දා) රාත්‍රි ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවන පිවිසුම් මාර්ග අවහිර කරමින් අට්ටාල සවිකර විරෝධතාවේ නිරතවීම නිසා ඊයේ පෙරවරුවේ මෙම කාර්යාලවල සේවයට පැමිණි නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවී තිබුණි. මෙම කාර්යාල දෙකෙන් මහජන සේවාවන්  ලබාගැනීමට පැමිණි පිරිසද අපහසුතාවයනට පත්විය.

උද්ඝෝෂකයන් අට්ටාල ඉදිකර විරෝධතාවේ නිතරවීම නිසා ඔවුන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කළත් එය අසාර්ථක විය. පසුව පොලිසිය සහ පොලිස් කැරළි මර්දන බළකාය එක්ව විරෝධතාකරුවන් පළවාහැර ඔවුන් සවිකර තිබූ අට්ටාල සහ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිස් භාරයට ගෙන තිබුණි. මෙහිදී විරෝධතාවේ නිරතවී සිටි හිමි නමක්, කාන්තාවන් 04 ක් සමඟ පිරිමින් 16 ක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව යුද හමුදාව ද කැඳවා තිබූ අතර අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජ ක්‍රියාකාරිකයකු වූ අනුරුද්ධ බණ්ඩාර, ඉසුරු වර්ණකුලසූරිය සහ අර්ජුන රාජපක්‍ෂ ද වූහ. අත්අඩංගුවට ගත් 21 දෙනා ඊයේ (20දා) සවස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම පිරිස අයුතු අවහිර කිරීම් චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උද්ඝෝෂකයෝ ‘අපේ ගමන අපි යනවා’ පාර දිගේ අපේ  ගමන” ඇතුළු සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ. මෙහිදී හිමි නමක් මහා මාර්ගයේ වැතිරී පොලිස් බස් රථයට යටකරන ලෙස දැඩි විරෝධතාවක් දැක්වූ අතර පොලිස් නිලධාරීන් විසින් ඔසවා ගෙන ගොස් උන්වහන්සේද බස් රථයට නංවනු ලැබූහ. මෙරට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටින අතර ඔවුන් සමඟ ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බව පොලිස් මූලස්ථානය පවසයි. එය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ බවද එම මූලස්ථානය පවසයි.

ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නොහැකිවූ සාකච්ඡාව මූල්‍ය අරමුදලේ නිලධාරීන් ඊයේ පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබූ අතර, සාකච්ඡාවට අත්‍යවශ්‍යම නිලධාරියකු වූ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එම ස්ථානයට යෑමට පැය භාගයක් පමණ ප්‍රමාද වී තිබූ බව පැවසේ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment