අටුව කඩා පුටුව හදා කබලෙන් ළිපට වැටෙමුද?

223

ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පූර්ණ දේශපාලන අර්බුදයක් සහ මානුෂීය හදිසි අවස්ථාවක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට මැයි මාසයේදී සිය ණය ගෙවීම පැහැර හැරියේ, වසර ගණනාවක ආර්ථික අවභාවිතාවෙන් හා ප්‍රභූන් සුළු පිරිසක් පොහොසත් කිරීමෙන් මහා භාණ්ඩාගාරය හිස් වීම හේතුවෙනි. මේ අර්බුදය හරහා නිරූපණය වන්නේ රටේ එතෙක් මෙතෙක් පැවතුණු හා පවතින ආණ්ඩු වල කෙරුවාව ය. ඊට රටේ බහුතරයක් නිද්‍රාශීලී පොදු මහජනතාවත් වගකිවයුතු බවට විවාදයක් නැත. මේ සියලු සමාජාර්ථික හා දේශපාලන කාරණා වලින් වියුක්තව අපට මේ රටේ ගහකොළ, සතා සිව්පාවා සහ ස්වභාවික සම්පත් ඇතුළු සමස්ත පරිසර සංරක්ෂණය ගැනත් කතා කිරීමට හැකියාවක් නැත. සරලව කියනවා නම් මේ ආර්ථික අර්බුදය පරිසර සංරක්ෂණයට කොහෙත්ම හිතකර නොවන්නා සේම මේ අර්බුදකාරී වටපිටාව තුළ අපි නිසියාකාරව රටේ පාරිසරික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවන් කැප නොවුණහොත් සිදුවන්නේ අර්බුදය තවත් දුරදිග යෑමය.

වංචා, දූෂණ මොහොතකට පසෙකින් තැබුවහොත් අප වර්තමානයේ මුහුණදෙමින් සිටින ඉරණම අත් වූයේ අප පසුගිය දශක ගණනාවක් තිස්සේ විදෙස් ණය ලබාගනිමින් සිදුකළ අක්‍රමවත් සංවර්ධන කටයුතු නිසා බව යළි යළිත් සඳහන් කළයුතු නැත. එම සංවර්ධනය රටේ ආර්ථිකයට ධනාත්මක ප්‍රතිලාභ නොදුන්නා සේම පරිසරයටත් හිතකර වූයේ නැත. ස්වභාවික වනාන්තර කොන්ක්‍රී වනාන්තර බවට පත්කරමින් සිදු කෙරුණු මේ ඊනියා සංවර්ධන රටේ පොදු ජනතාවට මෙන්ම සතා සිව්පාවාටත් සුගතියක් අත්කර නොදෙන බවට මේ රටේ පරිසර සංරක්ෂණවේදීන් උගුර ලේ රහ වන තුරු මුර ගෑවෝය. නමුත් ඒ යථාර්ථය පොදු ජනතාව තේරුම් ගත්තේ නැත. එනිසා රට පාලනය කරන ජඩ දේශපාලුවන්ට මෙන්ම සුදු කරපටි හොරුන්නටද ඒ ගැන අවධානය යොමු කිරීමට ඕනෑකමක් තිබුණේ නැත.

මහා සංවර්ධන සිහින පෙන්වමින් ආරම්භ කෙරුණු ව්‍යාපෘති බොහොමයක් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර නොදුන් අතර බොහොමයක ශක්‍යතාව හා ප්‍රමුඛතාවද ගැටලුකාරීය. අප මේ දිනවල කතාබහ කරන මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් මෙම තත්ත්වය පැහැදිලි කරගැනීමට කටයුතු කරමු. මෙම ව්‍යාපෘතිය නිසා මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්’ වන වාර්ෂික වන අලි ඒකරාශී වීමට (Elephant gathering) කණකොකා හඬා ඇති බව පසුගිය දිනවල කතා බහට ලක් විය. එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා දුන් බව සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් පේනවා දෙයි. නමුත් ඒ විදේශ විනිමය ප්‍රමාණයට පයින් ගසා මොරගහකන්ද මගින් අලුතින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අස්වැද්දීමේ සිහින දුටු බලධාරීන්ට දැන් අල්ලපු අත්තත් පයගහපු අත්තත් යන දෙකම අහිමිවී තිබේ. එපමණක් නොව, මේ පාරම්පරික වියළි සෘතු ගොදුරුබිම අහිමි වීමෙන් ආහාර හිඟයට මුහුණදෙන අලි ඇතුන් ප්‍රදේශයේ ජනතාවගේ නිවාස, ගෙවතු සහ කුඹුරු බිම් ආක්‍රමණය කිරීම නිසා දැනට අලි-මිනිස් ගැටුමෙන් පීඩා විඳින එම ප්‍රදේශයේ අහිංසක දුප්පත් ගොවි ජනතාව කබලෙන් ළිපට විසිවී තිබේ. තවත් අලුත් පිරිසක මේ අක්‍රමවත් සංවර්ධනයේ අනාථයන් බව පත්ව තිබේ. ඒ බව මොනවට පැහැදිලි වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු දත්තවලට අනුව, 2020 වන විට ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම් සිදුවීම් 2017 ට සාපේක්ෂව හය ගුණයකින් වැඩි වී ඇති බැවිනි. අලි ඇතුන්ගේ ගැහැනු සතුන් සහ පැටවුන් මිනිසුන්ගේ භවබෝග ආක්‍රමණය කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ට සිදුවන්නේ කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් මරණයට පත්වීමටය. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ආසියානු අලි උප විශේෂයේ අනාගත ඉරණම තීරණය කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. අපේ රටේ පාලකයන් දුටු සංවර්ධන සිහින බොහොමයක් ඔය ආකාරය.

නටපු නැටුමකුත් නොමැතිව බෙරේ පලුවකුත් අහිමිකරගත් මෙරට පාලකයෝ දැන් කසකවමින් සිටින්නේ බෙරයේ අනෙක් පලුවටද වැඩේ දෙන්නටය. නොමැතිනම් ඉතිරි පරිසර සම්පත් ප්‍රමාණයද ආර්ථික අර්බුදය විසිඳීම වෙනුවෙන් බව පවසමින් වනසා දැමීමටය. වයඹ පළාතේ ප්‍රමුඛ පෙළේ රජමහා විහාරයක විහාරාධිපති හිමිනමකගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු මහා වන විනාශයට එදිරිව පසුගිය දිනක පරිසර සංරක්ෂණවේදීන් පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වීමට ලියුම්කරුටද සිදු විය. එසේම නොබෝදා ආහාර සුරක්ෂිතතාවය නාමයෙන් කැබිලිත්ත වන රක්ෂිතය වැනසීමට එදිරිව ජනාධිපතිවරයාට පරිසර සංරක්ෂණවේදීන් විසින් සංදේශයක්ද යොමුකරන ලදී. නමුත් පාලකයන් මේ පිළිබඳව නෑසුණු කන් ඇතිව සිටින්නේ රටේ ආර්ථික අර්බුදයට මෙම වනාන්තර විනාශ කර සිදුකරන විවිධ සංවර්ධන ව්‍යාපෘති හේතු වේ යැයි ඔවුන් තවමත් සිතා සිටින නිසා වීමට ඉඩ ඇත. නමුත් එය එසේ නොවන බවට අතීතයෙන් සාක්ෂි සාධක තව ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට පුළුවන. අප මේ සියල්ල සිදු කරන්නේ මේ රටේ උපනූපන් පරම්පරා ගණනාවක ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නිස්සරණාධ්‍යාශයෙනි. නමුත් ඒ පිළිබඳව පොදු ජනතාව වත් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකි. පරිසරය වනසමින් සංවර්ධනයේ නාමයෙන් අගාදයට ගමන්කළ අපි එයින් ගොඩ ඒමට මේ මොහොතේත් යොදාගන්නට සූදානම් වන උපාය මාර්ග අටුව කඩා පුටුව හදන මාදිලියේ වුවහොත් කබලෙන් ළිපට විසිවෙන්නට සිදුවන්නේ අපි අපිටම ය.

මේ සියල්ල අතර වේගවත් වන දේශගුණික විපර්යාසයේ ගොදුරක් බවටත් මේ පුංචි රට පත්වෙමින් ඇති බවද අප අමතක කළයුතු නැත. මිහිතලය උණුසුම් වීමේ අහිතකර බලපෑම් වලින් ලෝකයේ සෑම රටකම ආර්ථිකයට බලපෑම් එල්ලවී ඇත. කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර වැනි සෑම නිෂ්පාදන හා සේවා ක්‍ෂේත්‍රයකටමත් ඒ බලපෑම් එල්ලවී ඇත. එබැවින් අප එම අහිතකර බලපෑම් වලට සූදානම් වීමට එහෙමත් නැත්නම් අනුහුරු වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ සඳහා අපට විශාල වශයෙන් අරමුදල් තිබිය යුතුය. නමුත් බඩට බත්ටික නැතිව දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන රටක දේශගුණික විපර්යාස අවම කිරීමට සහ ඊට අනුහුරු වීමට අවශ්‍ය අරමුදල් වෙන්කළ හැක්කේ කෙසේද?

සුපුන් ළහිරු ප්‍රකාශ්

advertistmentadvertistment
advertistmentadvertistment