අට බිලියන වැනි දරුවා ඊයේ (15 දා) උපත ලබයි

213

ගෝලීය ජනගහණය බිලියන 7ක් වී වසර 11කට පසුව අට බිලියන වැනි දරුවා ඊයේ (15දා ) අලුයම ලොව උපත ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිවේදනය කර තිබේ. ඊයේ උදෑසන වන විට ලැබී තිබූ වාර්තාවලට අනුව පිලිපීනයේ මැනිලා නගරයේ වෛද්‍ය ජොසේ ෆැබෙල්ලා අනුස්මරණ රෝහලේ පිලිපීන වේලාවෙන් අලුයම 1.29ට උපත ලබා ඇති වෙනීස් මබන්සාග් ලොව උපත ලැබූ අට බිලියන වැනි දරුවා ලෙස සංකේතවත් කර තිබේ.

විසි වැනි ශත වර්ෂයේ මැද භාගය වන තෙක් ගෝලීය ජනගහණය ශීඝ්‍රයෙන් වර්ධනය වුවද මේ වන විට ගෝලීය ජනගහණ වර්ධන වේගය අඩු වෙමින් පවතින බව වාර්තා වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව 09 බිලියන වැනි දරුවා උපත ලැබීමට තවත් වසර 15ක පමණ කාලයක් ගත වනු ඇති අතර පවතින අඩු ජනගහණ වර්ධන වේගය හේතුවෙන් 10 බිලියන වැනි දරුවා උපත ලැබීමට වසර 2080 තෙක් බලා සිටීමට සිදු වේ. ලොව පුරා විසිරී සිටින ජනගහණය නිශ්චිතව ඉලක්කම්වලින් පැවසීම අසීරු වන බවත් එම සංඛ්‍යාව තවත් වසර දෙකකින් නිශ්චිතව පැවසීමට හැකිවනු ඇති බව එම සංවිධානය කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්ත වාර්තාවලට අනුව දැනට ලොව අධිකම ජනගහණයක් වෙසෙන චීනය අභිබවමින් ඉන්දියාව ලබන වසරේදී ලොව අධිකම ජනගහණය වෙසෙන රට බවට පත්වීමට නියමිතව තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment