අට වසරක් බලා සිට ‘භවතරණ’ අද සිට ප‍්‍රදර්ශනය අරඹයි

902

කස්ත‍්‍රියා ෆිල්ම් සහ රාජ පුත‍්‍ර ප‍්‍රඩක්ෂන් වෙනුවෙන් ශිරානි කැප්පැටිපොළ සමගින් මාවතගම එස්. ආර්. විජේසිංහ නිෂ්පාදනය කළ ‘‘භවතරණ’’ දේවින්ද කෝන්ගහගේ ගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි. කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු සහ ඔහුගේ පාලන කාලයේ පැවති දේශපාලන සංස්කෘතික සිදුවීම් පාදක කරගනිමින් අති විශාල පිරිවැයක් යොදා නිර්මාණය කළ මෙම සිනමාපටය රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවන්හි අද (දෙසැම්බර් 03) සිට ප‍්‍රදර්ශනය ඇරඹේ.

කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පාලන සමය සේ සැලකෙන්නේ කි‍්‍ර. ව. 1747 සිට 1760 දක්වා කාලයයි. එම කාලයේ එක්තරා දිනක මහ වනයක් මැදින් කඩු, කිනිසි, හෙල්ල අමෝරා ගත් රාජපුරුෂයන්ගෙන් බේරීමට පලා යන මතිහන්පොළ දිසාවේ ගෙන් ඇරඹෙන භවතරණ සිනමා කෘතියේ දර්ශන පරිභෝජනවාදී භෞතික ලෝකයේ තුන්කල්හිම පවත්නා බොහෝ ස්වභාවික සිද්ධාන්ත සිනමාකරුවා විසින් සංවේදීව සංවාදයට බඳුන් කෙරේ.

‘‘බුදු දහම විකෘතියට පත්වීම සහ සංඝ සමාජය දේශපාලනයට අතගැහුවාම සිදුවිය හැකි බරපතළ අර්බුදයන් අතීතයේ වගේම අදත් අපට පේන්න තියනවා. මේ දේශපාලන විකෘතියත් එක්ක කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ්ජුරුවෝ කියන්නෙ කොයි තරම් දැහැමි රජෙක්ද කියන කාරණයත්, අපේ බෞද්ධ සංස්කෘතියට සහ එහි පැවැත්මට ඔහුගේ පාලනය කොතරම් ඉවහල් වුණාද කියන එකත් මේ සිනමා පටයෙදි මම කතා කරන්න උත්සාහ කරනවා.’’ යැයි ස්වකීය නිර්මාණය ගැන අදහස් දක්වමින් දේවින්ද කෝන්ගහගේ පවසන්නේය.

හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සමගින් තිරයට හඳුන්වා දෙන සජීව් කෂ්ත‍්‍රීය රාජපුත‍්‍ර ප‍්‍රධාන භූමිකාවන් නිරූපණය කරන විට, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, උදයන්ති කුලතුංග, රොෂාන් පිලපිටිය, රොෂාන් රවින්ද්‍ර, චන්දික නානායක්කාර, කුමුදු නිශාන්ත, ශ‍්‍රීමාල් වෙඩිසිංහ, කාංචන කොඩිතුවක්කු, සංකේත් වික‍්‍රමගේ, දර්ශන් ධර්මාරාජ්, චිත‍්‍රා වරකාගොඩ, දිපානි සිල්වා, රිචඞ් මානමුදලි, ඇතුළු විශාල රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙන් භවතරණ රූපණයට නැගී තිබේ.

මීට වසර ගණනාවකට පෙර වැඩ අවසන් කර තිබුණද මෙරට පේ‍්‍රක්ෂකයා හමුවට නොපැමිණි භවතරණ සිනමාපටය දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ 2015 හොඳම සිනමා පටය, චීනයේ ගෝල්ඩන් කයිට් ජාත්‍යන්තර සිනමා උළෙලේ 2018 හොඳම චිත‍්‍රපටය ලෙසද නම් කෙරිණි.

”භවතරණ’’ සිනමාපටය සඳහා කැමරාකරණයෙන් නිශාන්ත ප‍්‍රදීප්, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් ප‍්‍රවීන් ජයරත්න, අංග රචනයෙන් නාරද ධනංජි තොටගමුව සහ පේ‍්‍රමලාල් ලියනගේ, කලා අධ්‍යක්ෂයෙන් මනෝජ් වික‍්‍රමසිංහ සහ චින්තක විජේරත්න, ශබ්ද පරිපාලනයෙන් කාලිංග ගිහාන් පෙරේරා, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගී තනු රචනයෙන් සහ ගායනයෙන් ජගත් වික‍්‍රමසිංහ දායක වී ඇත. මෙහි ගීත රචනය, සිනමා තිර රචනය සහ අධ්‍යක්ෂණය දේවින්ද කෝන්ගහගෙනි.

තිස්ස ගුණතිලක

අට වසරක් බලා සිට 'භවතරණ' අද සිට ප‍්‍රදර්ශනය අරඹයි
advertistmentadvertistment
advertistmentadvertistment