අඩුම ඡන්ද ලැබුණෙ මෙවර: තාර්කිකව පිළිතුරු නොදෙන නිසා ශ්‍රී ලංකාව ජිනීවාවල අසරණ වෙනවා – උදය ගම්මන්පිල

127

ජිනීවාවල දී ලංකාව අසරණ වෙන්නේ ලංකාවට එරෙහිව ඉදිරිපත් වන වාර්තාවල අඩංගු කරුණුවලට සාක්ෂි සහිතව තාර්කිකව පිළිතුරු දෙන්න මෙතෙක් ලංකාණ්ඩුව අසමත් වී ඇති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

ජිනීවාවලදී ශ්‍රී ලංකාවට අන්තම පරාජය අත් වුණේ මෙවර යැයි ද ඔහු එහිදී කීවේය.

ගම්මන්පිල මහතා මෙසේ ද පැවසීය.

ඊයේ ජිනීවා නුවර පැවැති මානව හිමිකම් සභාවේ දී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වුණා. එය ඉතිහාසයේ නරකම පරාජයයි. මීට පෙර නරකම පරාජය අත් වුණේ වැඩි ඡන්ද 12කින් පරාජයට පත් වුණු 2013 වසරේ දී. මෙවර යෝජනාව ඉදිරිපත් වෙන්නේ ලංකාව ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට ලක් වෙලා ලෝකයේ අනුකම්පාව දිනා ගෙන සිටින මොහොතක. ඒ නිසාම යෝජනාවට විරුද්ධ වන රටවල් වැඩි විය යුතුයි. නමුත් අවාසනාවට එය සිදු වූයේ නෑ. යෝජනාවට විරුද්ධ වුණේ රටවල් 7ක් පමණයි. පසුගිය වසරේ රටවල් 11ක් විරුද්ධ වුණා. 2012 දී විරුද්ධ වුණු රටවල් ගණන 15 සමග සසඳන විට ලංකාවට ඇති සහයෝගයේ කඩා වැටීම 50%කටත් වැඩියි.

ජිනීවාවල දී ලංකාව අසරණ වෙන්නේ ලංකාවට එරෙහිව ඉදිරිපත් වන වාර්තාවල අඩංගු කරුණුවලට සාක්ෂි සහිතව තාර්කිකව පිළිතුරු දෙන්න මෙතෙක් ලංකාණ්ඩුව අසමත් වී ඇති නිසා. දරුස්මාන් වාර්තාවේ සිට මානව හිමිකම් කොමසාරිස් විසින් මෙවර ඉදිරිපත් කළ වාර්තාව දක්වා සියලුම ලේඛනවල අඩංගු චෝදනාවලට අපි මෙතෙක් නිසි ලෙස පිළිතුරු සපයා නෑ. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ රණවිරුවන් දැවැන්ත අවදානමකට ලක් වී තිබෙනවා. මේ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා දැවැන්ත සටනක් හුදකලාව කරනවා. එතුමාට ප්‍රණාමය පුද කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා.

රණවිරුවන්ට එරෙහිව නැගෙන චෝදනාවලට විධිමත්ව පිළිතුරු සැපයීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේත් නෑ. මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුව කටයුතු කළේත් නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කළේත් නෑ. උපන් දා සිට කරපු පව් මැකේවා කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාවත් රණවිරුවන්ගේ විත්ති වාචකය ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අපි කියා සිටිනවා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment