අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න වැඩි අයගෙන් බදු අයකළ යුතුයි

188

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

අවංකව බදු ගෙවන කෙනාට වැඩි බරක් නොවැටී වැඩ කරන සියල්ලටම බදු බර සාධාරණව බෙදී යා යුතු බවත්, බදු දැලෙන් කාටවත් මිදෙන්න ඉඩ ලබාදිය යුතු නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නනන්දලාල් වීරසිංහ මහතා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ප්‍රශ්නය – වත්මන් බදු සංශෝධනය පිළිබඳ ඔබතුමා ජනතාවට කියන්න තියෙන්නෙ කුමක්ද?

පිළිතුර – මහ බැංකු අධිපතිවරයා වශයෙන් රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ මුලින්ම පැහැදිලි කළ යුතුයි. මුළු රටේම මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව විදේශ විනිමය සංචිත පවත්වාගෙන යන්න, උද්ධමනය කොහොමද පාලනය කියන එක පිළිබඳ මහ බැංකු අධිපතිවරයා වශයෙන් වගකීමක් තිබෙනවා.

මේ සම්බන්ධව කටයුතු කරනකොට රාජ්‍ය මූල්‍ය ප්‍රධාන වගකීම තියෙන්නෙ මුදල් ඇමැතිතුමාට, භාණ්ඩාගාරයට සහ පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තිබෙන්නේ. නමුත් මේ දෙක ඉතාම සම්බන්ධයි. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒක නිසා රටේ මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් තිබෙනවා. රජය ඇතුළුව පෞද්ගලික අංශයත් රටේ මූල්‍යයට ඇතුළත් වෙනවා. මේ සියල්ලේම පාලනය මහ බැංකුව සතුව තිබෙනවා. ඒක ඉතාම වැදගත් කාර්යයක්. එයින් උද්ධමනය පාලනය කරන්නත් අර්ථිකය ස්ථායීව තියා ගන්නත් පුළුවන්.

පහුගිය කාලය තුළ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය වශයෙන් අඩුපාඩු තිබුණා. ඒක මං කියන්නෙ නෑ පහුගිය අවුරුදු දෙකේ පමණක් වුණා කියලා. දශක ගණනාවක් තිස්සේ රජයක් විදියට රජයේ ආදායම සහ වියදම සංසදනය කරනකොට හැම තිස්සෙම රජය විශාල වශයෙන් වියදම වැඩියි ආදායමට වඩා. එතකොට අපි දකින්නේ අයවැය හිඟයක් පවතින බව නේ. කාලයක් තිස්සේ පවතින මේ හිඟය මූල්‍යනය කරන්නේ ණය ලබාගැනීමෙනුයි. ණය ලබාගැනීම ප්‍රශ්නයක් නෑ. නමුත් ණය ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. රජයක් විදිහට දීර්ඝකාලීනව අපිට සිදු වුණේ විදේශීයව හා දේශීයව ණය ලබා ගන්නයි.

හැබැයි පහුගිය 2019 න් පස්සේ රටේ ක්‍රියාත්මක කළ බදු ආදායම් ප්‍රතිපත්තිය නිසා විශාල වශයෙන් ආදායම් අඩු වුණා. ඒ නිසා අයවැය හිඟය වැඩි වුණා. සියයට හය හත වගේ තිබුණ අයවැය හිඟය 2020 හා 2021 දී සියයට 11 දක්වා වැඩි වුණා. එය මේ වසරටත් බලපා තිබෙනවා. කලින් අපට අවස්ථා තිබුණ විදේශවලින් ණය අරගෙන අයවැය හිඟය පාලනයකින් ගෙන යන්න. මෙය මුල්‍යනය කරන්න අසීරු තත්ත්වයකට දැන් පැමිණ තිබෙනවා. බදු ආදායම් නැති කරගත්ත නිසා විදේශවලින් ණය දෙන අය ණය දීමට මැළිකමක් දක්වනවා. ඒ හේතු නිසා තමයි රටට විදේශ මුදල් ණය ගන්න හැකියාව නැති වුණා. 2020 ඉඳලම ණය ගන්න නොහැකි තත්ත්වයක් තිබුණා. කලින් හිටපු මහ බැංකු අධිපතිවරුන් ප්‍රතිපත්තියක් ලෙස රජයේ විශාල අයවැය හිඟය නැවැත්වීමට උත්සාහ කළේ මුදල් අච්චු ගැසීම තුළිනුයි.

ඒ සඳහා ජනතාවට සත්‍ය හෙළි කළ යුතුයි. පාර්ලිමේන්තුවට සත්‍ය තත්ත්වය හෙළි කරලා ජනතාවට ඒක තේරුම් කර දිය යුතුයි. අමාරු කාලයක් වෙන්න පුළුවන්. මේ වගේ ආර්ථික ප්‍රපාතයක අර්බුදයක් තියෙන අවස්ථාවකදී ගොඩ ඒම පහසු කාර්යයක් නොවෙයි.

ඉතාම වේදනාකාරී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒව තමයි පහුගිය දවස්වල සිදු වුණේ. මහ බැංකුවට පොලී අනුපාත වැඩි කරන්න සිදුවුණා. උද්ධමනය සියයට 70 නම් පොලී අනුපාතය අඩුවෙන් තියාගන්න බෑ. ප්‍රධාන හේතුව විශාල උද්ධමනයයි. උද්ධමනය තියනකොට ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න බෑ. එතකොට බඩු මිල වැඩි වෙනවා. මේකෙන් ගොඩ යන්න කලින් වුණු වැරැදි නිවැරැදි කරන්න ඕන.

රටේ බදු ආදායම සහ වියදම අතර තියෙන පරතරය අඩු කරල, දැරිය හැකි ප්‍රමාණයකට රජයට ණය ගන්න පුළුවන් ප්‍රමාණයක් ණය අරගෙන ආර්ථිකය ස්ථායීතාවය පවත්වාගෙන ඉදිරියට යන එක තමයි පළමුව නිවැරදි කරන්න තියන කාරණය. ඒ නිසා තමයි පහුගිය අතුරු අයවැය ඉදිරිපත් කළේ.

පහුගිය කාලය තිබුණු විශාල අයවැය හිඟය අඩු කිරීම තුළින් රටේ උද්ධමනය අඩු කිරීම, විනිමය අනුපාත ස්ථාවර කිරීම, සංචිත ගොඩනැගීම සහ අඩු ආදායම්ලාභීන්ට සහන ලබාදීම සිදු කළේ. එයට වැඩි ආදායම් ලබන අයගෙන් යම්කිසි ආකාරයට බදු අය කර ගැනීමක් සිදු කරගත යුතුයි.

ප්‍රශ්නය – ඔබතුමා කියන විදිහට අපි පොඩි කොළ එළියක් දැල්වෙන පාරකට යමින් තිබෙනවා. නමුත් මේ පාර ඒ තරම්ම සුමට නැති වෙන්න පුළුවන්. මේක රළු පරළු තියන පාරක් වුණාට මේ රළු පරළු පාර අපිට සුමට කරගන්න නං අපි අපේ කාර්යභාරය ඉටුකළ යුතුයි. මහ බැංකු අධිපති පුටුවේ ඔබතුමා වාඩිවෙන්නේ දාහත්වැනියා විදිහටයි. මේ පුටුවේ මීට පෙර 16 දෙනෙක් වාඩිවෙලා තිබෙනවා. මෙහි සිටින බහුතරයක් නිලධාරීන් පසුගිය කාලෙත් හිටියා. මේ නිලධාරීන් සමඟ මේ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යෑමට හැකියාව තිබේ යැයි විශ්වාසයක් තිබෙනවාද?

පිළිතුර – මහ බැංකුවේ අධිපතිතුමාට පහළින් නියෝජ්‍ය අධිපතිවරු හා වෘත්තීය පළපුරුදු නිලධාරීන් ඉන්නවා. එහෙම ආයතනයක වුණත් වෘත්තීමය වශයෙන් ලබාදෙන උපදෙස් අනුව වැඩ කරනවා නම් රටේ යහපත වෙනුවෙන් හසුරුවන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. වසර 30ක් තිස්සේ මම මේ මහ බැංකුවේ සේවය කළා. ඒ නිසා මට මෙහි ලොකු අවබෝධයක් තිබෙනවා. නමුත් මහ බැංකුව පිළිබඳ පසුගිය කාලයේ යම් මතවාදයක් සමාජයේ තිබුණා. අධිපතිතුමා හා මුදල් මණ්ඩලය ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ වෘත්තීය දැනුමක් ඇතිවයි. එය ස්වාධීනව කරන දෙයක්. මහ බැංකුවට අධිපතිවරු පත් කිරීමේදී දේශපාලන බලපෑමක් නොමැතිව යම්කිසි දැනුමක් තිබෙන අය පත්කිරීම තුළින් මේ තත්ත්වය මඟහැරගත හැකියි. අවබෝධයක් තිබෙන හා නායකත්වය ලබාදෙන්න පුළුවන් පුද්ගලයෙක් තමයි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්විය යුත්තේ. නැතිනම් දේශපාලන අධිකාරියේ හිතවතකු පත්කිරීම තුළින් ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ලෝකයේ දියුණු වූ රටවල් ගත්විට මහ බැංකුව ස්වාධීනව කටයුතු කර තිබෙනවා. රටේ ආර්ථිකයට ස්ථාවර බවක් ඇති කරන්න පුළුවන් කියා පෙන්වා තිබෙන්නේ මහ බැංකුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා මෙවර ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ප්‍රශ්නය – මධ්‍යම පංතියේ ලක්ෂයට වඩා වැටුප් ලබන පුද්ගලයකුට මේ වනවිට ආසන්න වශයෙන් රුපියල් විසිදාහක පමණ බදු මුදලක් බදු ප්‍රතිපත්තිය හරහා ගෙවීමට සිදු වෙනවා. එසේ බදු ගෙවද්දී ඔහු මිලදී ගන්නා භාණ්ඩවලට යම් බදු මුදලක් ගෙවන්නත් සිදුව තිබෙනවා. ජනතාව මෙම බදු ගෙවයි. රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් කියන එක පිළිබඳ ජනතාවට සහතිකයක් තිබෙනවා ද?

පිළිතුර – රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබා ගන්නා අයට රුපියල් විසිදාහක පමණ බදු ලෙස ගෙවීමට සිදුවෙනවා. ඒවා ඍජු බදුයි. නමුත් අපේ රටේ තවමත් වැඩියෙන් තිබෙන්නේ වක්‍ර බදුයි. ඉහළ ආදායම් ලබන කෙනාගෙ සිට පහළම ආදායම ලබන කෙනාට වක්‍ර බදුවල බර පැටවෙන්නේ. අපේ බදු ව්‍යුහයේ තිබෙන

වැරැද්දක් තමයි වක්‍ර බදු සියයට 80ක් තිබෙනවා. ඍජු බදු සියයට 20යි තිබෙන්නේ. ඒ නිසා ඍජු බදු වැඩිකළ යුතුයි. පසුගිය වසර තුනේම අපගේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අටකට අඩුයි.

ලෝකයේ රටවල් දිහා බැලූ විට ඉරානය හා වෙනිසියුලාව හැර අඩු බදු ආදායමක් තිබෙන්නේ ලංකාවටයි. ඉහත රටවල් දෙකට බදු ආදායම අවශ්‍ය නොවන්නේ තෙල් ආදායම තිබෙන නිසයි. නමුත් අපට ඒ කිසි දෙයක් නැහැ. ඒ නිසා අපට කෙටිකාලීනව ආදායම් උපයා ගැනීමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ බදු අය කරන්න වෙනවා. තියෙන බදු ව්‍යුහය තුළ වැඩි කරන්න පුළුවන් දේ තමයි වක්‍ර බදු වැඩිකිරීම. නමුත් එහිදී පහළ ආදායම් ලබන අයට එය ඉතා තදින් දැනෙනවා. ඒ නිසා මහ බැංකුව යෝජනා කරන්නේ වක්‍ර බදු සියයට 60 දක්වා අඩුකර ඍජු බදු සියයට 40 දක්වා වැඩිකළ යුතුයි කියලා. ඒ දිශාවට යන විට පළමු පියවර තමයි උපයන විට ආදායමෙන් බදු අය කිරීම. මෙය බැලූ විට පසුගිය කාලයේ වැඩකරන ජනතාව මිලියන අටකට වැඩියෙන් ඉන්නවා. නමුත් බදු ගෙවන්නේ දෙලක්ෂ පනස්දහසක් පමණයි. බදු ගෙවන ප්‍රමාණය බැලූ විට අසාධාරණ ව්‍යුහයක් තිබෙනවා. ලක්ෂ දෙකහමාරක් නම් තිබෙන්නේ බදු ෆයිල්, ආදායම් ලැබෙන අය තමන්ගේ කාර්යභාරය කර නැහැ.

ඉදිරියට යන විට මේ තියන බදු ප්‍රතිපත්තිය සියයට 9 සිට සියට 14 ට යා යුතුයි. රටේ ආර්ථිකය ලබන වසරේ ස්ථාවර වුණොත් බදු වැඩි වෙනවා. ආර්ථිකය ස්ථාවර වන විට ආයතන ලාභ ලබන්න පුලුවන්. එවිට ආදායම් බදු ප්‍රමාණය ඉහළ දැමිය හැකියි. එවිට ලක්ෂයක් උපයන විට තිබෙන බදු ප්‍රමාණය ලක්ෂ එකහමාරක් උපයන විට දක්වා ඉහළ දැමිය හැකියි. මැදි ආදායම් අයගේ බදු ඉවත් කරන්න නම් බදු නොගෙවන අයගේ බදු ලබාගැනීම ශක්තිමත් කරගත යුතුයි. මිලියන 8.5 ක් වැඩකරන ජනතාව ඉන්නවා නම් මිලියන 5ක්වත් බදු ගෙවිය යුතුයි කියන අදහසකයි මම ඉන්නේ. එවිට බදු සාධාරණ ලෙස බෙදී යනවා. වක්‍ර බදු තවත් අඩු කළ හැකියි. අඩු ආදායම්ලාභීන්ට සහන දෙන්න පුළුවන්. වැඩි ආදායම් ලබන අය තමන්ගේ දායකත්වය

නිවැරැදිව කරනවා නම් සියලු ජනතාවට හොඳක් වෙනවා. අලුත් බදු ක්‍රමය හැමෝටම අමාරුයි. නමුත් බදු ගෙවීම වැඩි කිරීම තුළින් අඩු ආදායම් ලාභීන්ට සහන ලබාදෙන්න රජයට හැකියාව තිබෙනවා.

දැනට කර තිබෙන ඉදිකිරීම්වලට ගෙවන්නවත් රජයට හැකියාව නෑ. මේ බදු ලබා දුන්නොත් තමයි ඒ ණය

ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සැවොම මෙයට දායක විය යුතුයි. එවිට අඩු අදායම් ලාභීන්ට ලොකු බරක් වෙන්නේ නැහැ.

advertistmentadvertistment
advertistmentadvertistment