අඩු ආදායම්ලාභීන් කියා  ස්වර්ණභූමි ඔප්පුවක් ගත්  මීගමුවේ කෝටිපති යුවළට ඇප

217

තමාට අයත් කිසිදු දේපළක් නොමැති බවත් වෙනකක් තබා පදිංචියට ස්ථානයක් නොමැති අඩු ආදායම්ලාභියකු බවටත් ව්‍යාජ දිවුරුම් ප‍්‍රකාශ රජයට ඉදිරිපත් කර වංචාවෙන් ස්වර්ණභූමි ඔප්පුවක් (ස්වර්ණභූමි ඉඩමක්) ලබාගත් බව කියන කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ බිරිඳ දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා මගින් අධිකරණය වෙත ඉදිරිපත්වී ඇප නියම වූයේ මීගමුව ඒත්තුකාල ශාන්ත ජෝසප් මාවතේ පදිංචි කෝටිපති යුවළකටය.

මෙම සැකකරුවන්ට එරෙහිව මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව සැකකරුවෝ කෝටිපති යුවළකි. ඔවුන් අඩු ආදායම්ලාභීන් බවට ව්‍යාජ දිවුරුම් පෙත්සම් මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත. මෙහි විශේෂත්වය නම් ඔවුන් පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයා විසින් ඔවුන් අඩු ආදායම්ලාභීන් බවට සහතික කිරීමයි. එම කරුණු අනුව ප‍්‍රාදේශීය ලේකම්වරයා විසින් ද සැකකරුවන්ගේ ස්වර්ණභූමි අයැදුම්පත අනුමත කර ඇත. ග‍්‍රාම නිලධාරියාගේ වංචනික කි‍්‍රයාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා මෙම නඩුවේ ග‍්‍රාම නිලධාරියා ද විත්තිකරුවකු කළයුතු බව ප‍්‍රකාශ කළේය. එම කරුණු සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සැකකාර යුවළට ඇප නියම කර වැඩිදුර විභාගය ජුනි මස 4 දක්වා කල්තැබීය.

මීගමුව පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පැමිණිල්ල මෙහෙයවයි.

මීගමුව සමූහ – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment