අඩු වන උද්ධමනය හමුවේ පොලී අනුපාත…

6275

සාමාන්‍යයෙන් උද්ධමනය අඩු වන විට ඊට අනුරූපව පොලී අනුපාතවල අඩු වීමක් ද සිදු වේ. ඉහත පැහැදිලි කළ පරිදි උද්ධමනය දැනටමත් අඩු වෙමින් පවතින අතර ඉදිරි කාලයේ වේගයෙන් උද්ධමනය අඩු වීමත් සමග දැනට ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතවල ද අඩු වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහ බැංකුව පසුගිය කාලයේ විශාල වශයෙන් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතවල වැඩි වීමක් කළේ, බොහෝ ඉහළ මට්ටමක පැවති උද්ධමනය මර්දනය කිරීම සඳහාය. මේ අනුව උද්ධමනය වර්ධනය වීම පාලනය කර ගැනීමට අප සමත් වුවත් තවමත් උද්ධමනය පවතින්නේ සියයට 50 ඉක්මවා ගිය සාපේක්ෂව ඉහළ මට්ටමක බව අමතක නොකළ යුතුය.

උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම දිගින් දිගටම වැඩි වීමයි. ඒ නිසා උද්ධමනය අඩු වුවත් වැඩි වුවත් බඩු මිල ඉහළ යයි. උද්ධමනය වැඩි වීමේ දී සිදු වන්නේ බඩු මිල ඉහළ යෑමේ වේගය වැඩිවීමයි. උද්ධමනය අඩු වීමේ දී සිදු වන්නේ බඩු මිල වැඩි වීමේ වේගය අඩු වීමයි. මේ නිසා උද්ධමනය අඩු වීමේ දී බඩු මිල වැඩි වීමේ වේගය අඩු වෙනවා මිස බඩු මිල අඩු වීමක් සිදු නොවේ. මේ පසුබිම තුළ අපට උද්ධමනය අඩු වීම ගැන සාකච්ඡා කිරීමට සිදුවේ. එනම් ඉකුත් ඔක්තෝබර් මස සිට උද්ධමනය අඩු වෙමින් තිබේ. පසුගිය කාලයේ උද්ධමනය දිගින් දිගටම ඉහළ ගොස් සියයට 70 ද ඉක්මවා ගිය බව අපට මතකය. දැන් එම උද්ධමනය සියයට 50 ක පමණ මට්ටමකට අඩු වී තිබේ. මේ උද්ධමනය සහ පොලී අනුපාත අතර ද සම්බන්ධයක් තිබේ. මේ අනුව සාමාන්‍යයෙන් උද්ධමනය වැඩිවෙන විට පොලී අනුපාත ද වැඩි වෙන අතර උද්ධමනය අඩුවෙන විට පොලී අනුපාත ද අඩු වේ. මේ අනුව ඉදිරියේ දී උද්ධමනය සහ පොලී අනුපාත ගැන අපේක්ෂා කළ හැක්කේ කුමක් ද යන්න ගැන මේ ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරමු.

වේගයෙන් උද්ධමනය අඩු වෙයි

මේ වන විට මාසයෙන් මාසය උද්ධමනය සුළු වශයෙන් අඩු වෙමින් තිබේ. ගිය වසරේ (2022) සියයට 70 ක් පමණ දක්වා වැඩි වූ උද්ධමනය මේ වන විට සියයට 50 කට පමණ අඩු වී ඇත. මේ අනුව මේ වසරේ (2023) ජනවාරි මස සියයට 51.7 ක් වූ උද්ධමනය පෙබරවාරි මාසයේ දී සියයට 50.6 දක්වා සහ මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා ද අඩු වී ඇත. ගිය වසරේ සියයට 70 ක් පමණ දක්වා උද්ධමනය වැඩි වූයේ ඉතා වේගයෙනි. එහෙත් දැනට උද්ධමනය අඩු වෙමින් තිබෙන්නේ ඉතා සෙමිනි. එහෙත් මේ මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩු වනු ඇති බවට මහ බැංකුව පුරෝකථනය කර ඇත. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ අප්‍රේල් මස මූල්‍ය ප්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘මෑතදී විදුලි ගාස්තු ඉහළ නැංවීමේ සැලකිය යුතු බලපෑම මෙන්ම මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීම්වල අපේක්ෂිත වක්‍ර බලපෑම් හමුවේ වුවද ප්‍රධාන වශයෙන් ආහාර උද්ධමනය අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල අඩු වීම් පිළිබිඹු කරමින් 2023 මාර්තු මාසයේ දී මතුපිට උද්ධමනය පහළ ගියේය. මේ අතර ආර්ථිකයේ යටිදැරි ඉල්ලුම් පීඩනයන්හි අඛණ්ඩ පහළ යාම පිළිබිඹු කරමින් මූලික උද්ධමනය ද 2023 මාර්තු මාසයේ දී අඛණ්ඩව හය වන මාසයටත් පහළ ගියේය. ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩු වීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මෑතක දී අතිප්‍රමාණය වීම සමග දේශීය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩු වීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම හේතුවෙන් වූ විශාල නිර් – උද්ධමන බලපෑම සමග 2023 අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැඩි මුදල් හා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් සමස්ත ඉල්ලුම අඩු වීම සහ වැඩිදියුණු වූ දේශීය සැපයුම් තත්ත්ව මෙන්ම උද්ධමන අපේක්ෂා පාලනය වීමේ ද සහායෙන් ඉදිරි කාලයේ දී අපේක්ෂිත නිර් – උද්ධමන ක්‍රියාවලිය සහතික කෙරෙනු ඇත. ඒ අනුව 2023 වසර අවසානය වන විට මතුපිට උද්ධමනය තනි අගයක මට්ටම කරා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ඉන් පසුව මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත මට්ටම්වල ස්ථාවර වනු ඇත.’

මහ බැංකුව කියන මේ අදහස අනුව පැහැදිලි වනුයේ මේ මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩුවනු ඇති බවයි. මේ අනුව මේ වසර අගවන විට තනි ඉලක්කමක මට්ටමට උද්ධමනය අඩු වනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

● පොලී අනුපාත අඩු වෙයි ද?

සාමාන්‍යයෙන් උද්ධමනය අඩු වන විට ඊට අනුරූපව පොලී අනුපාතවල අඩු වීමක් ද සිදු වේ. ඉහත පැහැදිලි කළ පරිදි උද්ධමනය දැනටමත් අඩු වෙමින් පවතින අතර ඉදිරි කාලයේ වේගයෙන් උද්ධමනය අඩු වීමත් සමග දැනට ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතවල ද අඩු වීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහ බැංකුව පසුගිය කාලයේ විශාල වශයෙන් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතවල වැඩි වීමක් කළේ, බොහෝ ඉහළ මට්ටමක පැවති උද්ධමනය මර්දනය කිරීම සඳහාය. මේ අනුව උද්ධමනය වර්ධනය වීම පාලනය කර ගැනීමට අප සමත් වුවත් තවමත් උද්ධමනය පවතින්නේ සියයට 50 ඉක්මවා ගිය සාපේක්ෂව ඉහළ මට්ටමක බවද අමතක නොකළ යුතුය. කෙසේ වෙතත් ලබන මාසයේ හෝ නුදුරු කාලයේ මහ බැංකුව උද්ධමනය අඩු වීම සලකා සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය කිසියම් දුරකට ලිහිල් කරමින් සිය ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කරනු ඇති බවට අපට අපේක්ෂා කළ හැකිය. ඒ සමග දැනට අඩු වෙමින් පවතින වෙළෙඳපොළ පොලී අනුපාත ද තවදුරටත් අඩු වනු ඇති බව ද අපේක්ෂා කළ හැකිය. මේ සම්බන්ධයෙන් මහ බැංකුව කියන්නේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා වූ පුළුල් රාමුව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බැවින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතික හා සම්බන්ධ අවදානම් නුදුරු කාලීනව අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් රජයේ සුරැකුම්පත් මත ඵලදා අනුපාතිකවල හැසිරීම පදනම් කරගත් අනෙකුත් වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් අඩුවනු ඇති බවයි.

● අයිඑම්එෆ් ගිවිසුම පාර්ලිමේන්තු විවාදයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් පහසුකමේ සැකසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. පෙරේදා (18) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2023 මාර්තු 20 වැනිදා මාස 48ක කාලයක් සඳහා ඩොලර් බිලියන 3.0 ක විස්තීර්ණ අරමුදල් පහසුකමක් ශ්‍රී ලංකාව සඳහා අනුමත කළේය. එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් අනතුරුව නිදහස් කෙරිණි. එම අරමුදල් පහසුකම සහ අනෙකුත් අදාළ ලේඛන ද 2023 මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර එම පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය තහවුරු කර ගැනීමට සහ එම ණය පහසුකමට අදාළ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නීති සම්පාදනයට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ. ඊට අදාළ යෝජනාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. මේ ගැන පාර්ලිමේන්තුවේ විවාද කර ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව ලබාගැනීමට රජය අපේක්ෂා කරයි. මේ ගැන විවිධ අයට විවිධ අදහස් හා විරෝධතා තිබුණත් අයිඑම්එෆ් සහාය නොගෙන මේ බලවත් විනිමය අර්බුදය විසඳා ගැනීමට කිසිවෙකුටත් විකල්ප මාවතක් පෙන්වා දිය හැකි ද යන්න නම් ප්‍රශ්නයකි.

● සුබසාධන ප්‍රතිලාභ ගෙවීම

සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට මේ සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය. 2002 අංක 24 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව, සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය, යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ පළකර අදාළ ප්‍රතිලාභ දීමනා ගෙවීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුවේ. ඒ අනුව, ක්‍රියාත්මත කළ යුතු සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කිරීමට මාර්ගෝපදේශ ලබාගැනීම සඳහා තාක්ෂණික කමිටුවක් ජනාධිපති ලේකම්වරයා විසින් පත්කර ඇති බව සඳහන් වේ.

එකී තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන, දරිද්‍රතා පරතරය මත පදනම්ව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු සමාජ කණ්ඩායම් සඳහා සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එසේම දැනට ප්‍රතිලාභ ලබන වෙනස් හැකියාවන් සහිත තැනැත්තන්, හඳුනානොගත් හේතූන් මත වූ වකුගඩු රෝගීන් සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වෙනම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව, යෝජිත සුබසාධන ප්‍රතිලාභ ක්‍රමයන් 2023-07-01 දින සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා වැය වන මුළු වියදම වර්ෂයකට රුපියල් බිලියන 206 පමණ වන බවට ගණනය කර ඇත.

● මහ බැංකුවේ සල්ලි පිල්ලිය

පසුගියදා ඉතා අපූරු පුවතක් වාර්තා විය. එනම් මහ බැංකුවේ තිබූ රු.ලක්ෂ 50 ක් අතුරුදන් වී ඇති බවයි. මෙය හොරකමක් ද එසේ නැත්නම් තවමත් සොයාගත නොහැකිව එම නෝට්ටු මිටිය තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත. මෙසේ මහ බැංකුවේ භූගත තුන්වැනි මහලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රු.ලක්ෂ 50 ක් වටිනා රු.5000 මුදල් නෝට්ටු මිටියක් අන්තරස්දාන වී තිබේ. මේ සිද්ධිය මුලින්ම මාධ්‍ය මගින් වාර්තා වූයේ පසුගිය 12 දිනයේය. මේ ගැන මහ බැංකුව විසින් කොටුව පොලිසියට පැමිණිලි කර තිබුණේ ඊට පෙර දින සවසය. කොටුව පොලිසිය මේ ගැන පරීක්ෂණ කර අදාළ අංශය භාරව සිටින මහ බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණත් මේ වන තෙක් එම අස්ථානගත වූ රු.ලක්ෂ 50 ට වූ දෙය හෝ ඒ ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකිව ඇත. මේ ලියුම්කරු ඉකුත් අප්‍රේල් 12 වැනිදා මේ ගැන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ඉවට් ප්‍රනාන්දු මහත්මියගෙන් ප්‍රශ්න කළ විට ඇය කියා සිටියේ අදාළ මුදල් නෝට්ටු මිටිය අතුරුදන් වී ඇති නිසා මේ ගැන පොලිසියට පැමිණිලි කළ බවත් මේ ගැන මහ බැංකුව විසින් වෙනම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කරන බවයි. මේ අනුව නැවත මුදල් ගණනය කිරීමක් ද සිදුකෙරෙන බවට අපට තොරතුරු ලැබිණි. අදාළ ස්ථානයේ සීසීටීවී කැමරා ද පරීක්ෂා කළ හැකිය. එහෙත් මේ සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ ගැන පළ වූ මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ එම මුදල් ගබඩා කර තිබූ කාමරයේ නිසි ආරක්ෂක ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර නොතිබූ බවයි. අඩු තරමේ මෙම මුදල් අතුරුදන් වූ කාමරයේ සීසීටීවී කැමරා හෝ සවිකර නොතිබූ බව ද පොලිස් විමර්ෂණවල දී හෙළිව ඇත. මෙය බරපතල ප්‍රශ්නයකි. මෙතරම් මුදල් ගැවසෙන රට පුරා වාණිජ බැංකුවලට පවා මුදල් නෝට්ටු බෙදා හරින රටේ ප්‍රධානම ස්ථානයේ පවා මෙවැනි තත්ත්වයක් තිබීම විමතියට කරුණකි. අඩු තරමේ මේ රු.ලක්ෂ 50 සොරකම් නොකළේ නම් මේ වන විට මහ බැංකුව සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණයෙන් එය සොයාගත හැකිව තිබිය යුතුය. එහෙත් මේ කියන මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයට අනුව මේ නෝට්ටු මිටිය අතුරුදන් වීම ගැන කුමක් සොයා ගත්තේ ද යන්න පැහැදිලි නැත. ඒ ගැන මහ බැංකුව නිල වශයෙන් තවමත් කිසිවක් කියා නැත.

අප සිතන්නේ මහ බැංකුව අභ්‍යන්තර පරීක්ෂණ සිදු කළත් තවමත් මේ මුදල් නෝට්ටු මිටියට සිදු වූයේ කුමක් ද යන්න ගැන කිසිවක් සොයාගත නොහැකිව ඇති බවයි. මේ මුදල ලොකු මුදලක් ද පොඩි මුදලක් ද යන්න මෙන්ම මෙතන සොරකමක් සිදු වූයේ ද නැති ද යන්න වෙනම කාරණයකි. එහෙත් මහ බැංකුව වැනි තැනකින් මෙවැනි මුදල් නෝට්ටු මිටියක් අතුරුදන් වූයේ කෙසේ ද යන්න නම් බලවත් අභිරහසකි. මෙවැනි දේවල් මීට පෙර නම් මහ බැංකුවේ සිදු වූ බවක් රටට වාර්තා වී නැත. එහෙත් මේ සිදු වීම සමග අපට පැනනගින සැකයක් වන්නේ මීට පෙරද මහ බැංකුවේ මේ අංශයේ මෙවැනි දේ සිදු වී ඒවා මෙවර මෙන් වාර්තා වීමක් සිදු නොවූයේ ද යන්නයි. මහ බැංකුව ගැන තිබෙන විශ්වාසය පළුදු වන මේ සිදුවීම ගැන මහ බැංකුව විසින් රටට කිසියම් පිළිතුරක් ලබා දීම අවශ්‍ය බව අපගේ අදහසයි.

● ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment