අඩු වැඩිවන ලෝක තෙල් මිලට මුහුණදීම

150

රජය විසින් වැඩි කළ දේශීය තෙල් මිල ගැන විශාල කතිකාවක් රට තුළ ඇතිව තිබේ. එසේම වත්මන රජයේ විවිධ පාර්ශ්වයන් අතර ද මේ සම්බන්ධ විශාල මතභ්දයක් තිබෙන බව ද පෙනෙන්නට තිබේ. මෙය වඩාත්ම පැහැදිලි වූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පක්ෂයේ නිල ලිපි ශීර්ෂය මගින් එම තෙල් මිල වැඩි කිරීමට එරෙහිව නිකුත් කළ ප‍්‍රසිද්ධ මාධ්‍ය නිවේදනය නිසාය. මේ නිවේදනයෙන් පසු මේ ගැන දේශපාලන වාද විවාද සිදු වෙමින් තිබේ. මේ අතර ඔහු තවමත් එය පක්ෂයේ මතය බව කියමින් සිටියි. මේ අතරේ මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයකු මේ ලියුම්කරුට ලබා දුන් තොරතුරු අනුව පුවතක් අප පුවත්පත මගින් ප‍්‍රකාශයට පත් විය. ”ඉදිරි ගිවිසුම්වලට ගියා නම් තෙල් මිල මෙසේ වැඩි කිරීමට වෙන්නේ නෑ. මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ කියති” යන ශීර්ෂය යටතේ එම පුවත පසුගිය ජුනි 14 වැනිදා ‘දිවයින’ පත‍්‍රයේ පළ විය. ඊට පසු උදය ගම්මන්පිල ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා එවන ලද කරුණු පැහැදිලි කිරීමක් ද අප පත‍්‍රයේ පළ කර තිබිණි. එහි එක තැනක මෙසේ ද සඳහන් විය.

‘එමෙන්ම මෙම මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයන් ලෙසින් හඳුන්වන්නේ කවුරුන්ද යන්න එම පුවත විසින් නිශ්චිතව හඳුන්වාදී නොතිබීමද ගැටලූ සහගත තත්ත්වයකි.

එකී මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ ඉදිරි ගිවිසුම් භාවිතා කරනුයේ අනාගත මිල ගණන් සම්බන්ධයෙන් පුරෝකථනයක් කළ හැකි නිශ්චිත කාලවලදී බවත් නමුත් අනාගතය අතිශයින්ම අවිනිශ්චිත වූ මෙවන් වකවානුවක ඉන්ධන සම්බන්ධයෙන් වන ඉදිරි ගිවිසුම් මෙවලමක් ලෙස භාවිතා කළ නොහැකි බවයි. හෙජිං නමැති මිල උච්චාවචන අවදානම කළමනාකරණ මෙවලම භාවිතා කිරීමෙන් පසු ”හෙජිං සූදුව” නමින් ඒ පිළිබඳ රටේ මතුවුණු ආන්දෝලනය ද අමාත්‍යවරයා සිහිපත් කළේය.’

එදා යහපාලන රජය පැවතියදී එම රජය බලයට පත් වී හිමිදිරි පාන්දරම සිදු වූ බැඳුම්කර මගඩිය ගැන එදා අපට මෙන්ම රටට මුලින්ම තොරතුරු ලබා දීමට කටයුතු කළේ ද මේ මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයන් බව මෙහිදී අප සිහිපත් කිරීමට කැමතිය. ඔවුන්ගේ ඉල්ලීම නිසා සහ ආරක්ෂාව වෙනුවෙන් එදා ද අප ඔවුන්ගේ නම් සඳහන් කිරීමෙන් වැළකී සිටියෙමු. මෙවර ද තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් රජය අභ්‍යන්තරයේම මතභේදයක් පවතින බව රහසක් නොවේ. මේ වාතාවරණය නිසා ඔවුන් තම නම් සඳහන් කිරීමෙන් වලකින ලෙස ඉල්ලීමක් කළේය. ඒ නිසා අප එසේ මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයන් ලෙස පමණක් සඳහන් කළත් ඔවුන් අපට සිය මතය ප‍්‍රසිද්ධියේම ඉදිරිපත් කිරීමට එකඟ විය. ඒ අනුව ඛනිජ තෙල් මිල උච්චාවචනයට වැට බැඳීම සම්බන්ධයෙන් වත්මන් මූල්‍ය වෙළෙඳපොළ ක‍්‍රියාකාරිකයකු වන සෙලාන් බැංකුවේ භාණ්ඩාගාර අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු වන එස්. පලිහවඩන මහතා දැක්වූ අදහස්වලට මෙවර ආර්ථික ඇසින් ලිපිය වෙන්වේ.

ලෝක ඛනිජ තෙල් මිල ගණන් පසුගිය වසර 15 ක කාලය තුළ විශාල පරාසයක උච්ඡුාවචනය වීමක් දක්නට ලැබිණි. ඇතැම් විට ඇමෙරිකානු ඩොලර් 135 දක්වා ඉහළ ගොස් 2020 කොවිඞ් වසංගතයත් සමග ඇමෙරිකානු ඩොලර් 14 ක් වැනි අගයක් දක්වා අඩු අගයකට පහත වැටුණ ද අප රටට එවැනි වාසිදායක මිලකට තෙල් මිලදී ගැනීමට නොහැකි විය. එයට ප‍්‍රධාන හේතුව අප දැනට තෙල් මිලට ගැනීමට අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයයි. එනම් අප තෙල් මිලදී ගනු ලබන්නේ භෞතික තොග වශයෙන් පමණි. එහෙත් නූතන ලෝකයේ මේ සඳහා වෙනත් මෙවලම් භාවිතා කරනු ලබයි. ඒ අනුව ඉතා ඉක්මනින් අවශ්‍ය මිල ගණන්වලට තෙල් මිලදී ගැනීමේ ක‍්‍රමවේදයන් අද පවතී. දැනට අප අනුගමනය කරන ක‍්‍රියාමාර්ගයට අනුව තෙල් මිල අඩු අවස්ථාවකදී තෙල් මිලදී ගැනීමට විශාල මුදලක් යෙදවීමට සිදුවන අතර ඇති විශාල ගබඩා පහසුකම් ද අවශ්‍ය වේ. මේ නිසා නූතන ලෝකයේ වෙනත් රටවල් භාවිත කරන මූල්‍ය මෙවලම් ගැන අධ්‍යයනය කර ඒවා ක‍්‍රියාත්මක කිරීමට අපට කාලය පැමිණ ඇත. ඒ සඳහා දැනුම ඇති දේශීය සහ විදේශීය විද්වතුන්ගේ සේවය අපට ලබාගත හැකිය.

ලෝකයේ බොහෝ රටවල් තෙල් මිලදී ගැනීමේ සහ එහි මිලෙහි ඇති වන වෙනස්කම් පාලනය කිරීම සඳහා යොදා ගන්නා මූල්‍ය මෙවලම් බොහොමයක් ඇත. එහෙත් අප මෙහිදී සාකච්ඡුා කරනු ලබන්නේ ඉන් ප‍්‍රධාන මෙවලම් දෙකක් පමණි. ඒවා මෙසේයි.

(1) අනාගත තෙල් මිලදී ගැනීමේ ගිවිසුම් (oil futures)

(2) අනාගත තෙල් මිලදී ගැනීම තෝරා ගැනීමේ බලය සහිත ගිවිසුම් (oil futures call option)

අනාගත තෙල් මිලදී ගැනීමේ ගිවිසුමක එක් කොටසක (one contract) ඇති බොරතෙල් බැරල් ගණන දහසකි. මෙම ගිවිසුම්වලින් කරන්නේ නිව්යෝර්ක් මර්කන්ටයිල් වෙළෙඳපොළේ සහ යුරෝපයේ ඇති තවත් වෙළෙඳපොළවලය. මෙම වෙළෙඳපොළ සමග විද්‍යුත් මාර්ගයෙන් ගනුදෙනු කිරීමට හැකියාව තිබෙන අතර සතියේ දින පහේම පැය 21 ට වැඩි කාලයක් මේ ගනුදෙනු සිදු වේ. තවද මේ ගිවිසුම් මිලදී ගත දිනයේ එකඟ වූ මිලට සහ කලින් එකඟ වන අනාගත දිනකදී පැවරීමට එකඟ වන මූල්‍ය ගිවිසුමකි. මෙම ගිවිසුම් කල් පිරෙන තෙක් බලා සිටීමේ අවශ්‍යතාවක් නැත. මිලදී ගත තැනැත්තාට අවශ්‍ය දිනකදී (කල් පිරීමට පෙර* එය මිලදී ගැනීමට හෝ විකිණීමට හැකියාව තිබේ. මෙය උදාහරණයකින් පැහැදිලි කර ගනිමු.

2021.06.18 දින බ්‍රෙන්ට් පිරිපහදු තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73.27 කි. එදිනට 2022 ජනවාරි කල්පිරෙන අනාගත ගිවිසුමක බ්‍රෙන්ට් තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 67.42 කි.

මෙම අනාගත ගිවිසුමට අනුව මිලදී ගැනීමේ දී එයට අදාළ මුදල අප විසින් මේ අවස්ථාවේ දී (අද දින* ගෙවීමට අවශ්‍ය නොවේ. ඒ සඳහා ආවරණ මුදලක් පමණක් එම වෙළෙඳපොළේ තැන්පත් කළ යුතුය. එමගින් අපට ඉදිරි මාසයකට හෝ දෙකකට අවශ්‍ය තෙල් ප‍්‍රමාණයේ මිල අපට නිශ්චිත (fixed) කර ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍ය නම් ඊට වඩා දිගු කලකට වුවද මෙම ක‍්‍රියාවලිය සිදු කළ හැකිය.

අප විසින් ආනයන කරන තෙල් ප‍්‍රමාණයන් කෙතරම් ප‍්‍රමාණයක් මෙම ක‍්‍රමය මගින් ආවරණය කරන්නේ ද යන්න මුලින්ම තීරණය කළ යුතු වේ. එසේම එය කුමන කාලයක් සඳහා ද යන්නත් තීරණය කළ යුතුය. ඉන්පසු අවශ්‍ය කරන ගිවිසුම් ප‍්‍රමාණය තීරණය කර වෙළෙඳපොළේ ඇති මිල ගණන්වල අධ්‍යනයකින් පසු සුදුසු අවස්ථාවේ දී මිලදී ගැනීම් කළ යුතුය.

උදාහරණයක් ලෙස අප විසින් 2021 සැප්තැම්බර් මාසය සඳහා අවශ්‍ය තෙල් ප‍්‍රමාණය බොරතෙල් බැරල් 200ල000 ක් බවත් ඉන් බැරල් ලක්ෂයක මිල ජුනි මාසයේ දී නිශ්චිත කිරීමට තීරණය කළහොත් අප විසින් 2021 සැප්තැම්බර් ඔයිල් ෆියුචරස් ගිවිසුම් ඒකක 100 ක් (oil future contracts) මිල දී ගැනීමට ගත යුතු වේ. එම මුදල ඇමෙරිකානු ඩොලර් 69 කි. එවිට අප 2021 සැප්තැම්බර් මාසයට අවශ්‍ය තෙල්වල මිල අද දින (වර්තමානයේ* තීරණය කර තිබේ. නමුත් යම් ලෙසකින් වෙළෙඳපොළේ තෙල් මිල සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගියහොත් අපට වාසියක් මෙමගින් සිදුවන අතර තෙල් මිල පහළ ගියහොත් අවාසියක් සිදු වේ. එහෙත් මෙහි ඇති වැදගත්කම වන්නේ අප විසින් අනාගතයේ කරන වියදම ගැන දැන්මම අපට දැනුමක් තිබෙන නිසා එය අපගේ මූල්‍ය කළමනාකරණයට පහසුවකි.

මීළඟට අප සඳහන් කළ අනාගත තෙල් මිලදී ගැනීම තෝරා ගැනීමේ බලය සහිත ගිවිසුම් යන මූල්‍ය මෙවලම ගැන අවධානය යොමු කරමු. මෙහිදී එය මිලදී ගන්නාට අදාළ මිලදී ගැනීම කිරීමට අයිතිය තිබුණත් එය මිලදී ගැනීමට වගකීමක් ඇති නොවේ. එනම් මෙම මිලදී ගැනීමෙන් තමන්ට ලාභයක් සිදු වන්නේ නම් පමණක් මිලදී ගැනීමටත්, එසේ නොවී පාඩු සිදු වන්නේ නම් එම මිලදී ගැනීම සිදු නොකිරීමටත් හැකිවන පරිදි මෙම ගිවිසුම්ගත වීම සිදු වේ. මෙම මූලික සිද්ධාන්තය නිසා එයට යම් මිලක් ගිවිසුම්ගත වන දිනයේම ගෙවීමට සිදු වේ. මෙය අප විසින් ලබා ගන්නා රක්ෂණ ආවරණයක් වැනිය. මෙම රක්ෂණය ලැබෙන්නේ එය මිලදී ගැනීමට ගිවිසුම්ගත වන අයටය. මෙම ගිවිසුම මුලින් සාකච්ඡුා කළ ගිවිසුමට සමාන අතර වෙනසකට ඇත්තේ මෙහිදී අපට වාසියක් වන්නේ නම් පමණක් ක‍්‍රියාත්මක කිරීමට එකඟ වීමයි. තව ද මෙහිදී මිලදී ගන්නා මිල (ිඑරසනැ චරසජැ* අපට තීරණය කළ හැකිය. ඒ අනුව ගෙවීමට සිදුවන මුදල වෙනස් වේ. උදාහරණයක් ලෙස 2021 ජුනි 18 දින බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.76 කි. 2021 නොවැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් 68 කට තෙල් මිලදී ගැනීම සඳහා වර්තමානයේ (අද දින* ඇමෙරිකානු ඩොලර් 4.75 ක අධි මිලක් තෙල් බැරලයක් වෙනුවෙන් ගෙවිය යුතුය.

මෙහි ඇති වාසිය නම් නොවැම්බර් මාසයේ දී තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 68 ට වඩා වැඩි වුවහොත් එකඟ වූ පරිදි ඇමෙරිකානු ඩොලර් 68 කට තෙල් මිලදී ගත හැකිවනවා සේම එදිනට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 50 දක්වා අඩු වුවහොත් එම ගිවිසුම ක‍්‍රියාත්මක නොකොට එදිනට වෙළෙඳපොළේ ඇති මුදල වන ඇමෙරිකානු ඩොලර් 50 ට තෙල් මිලදී හැකි වීමයි. මෙහිදී අපට ඇමෙරිකානු ඩොලර් 4.75 ක අමතර වියදමක් දැරීමට සිදු වේ. එහෙත් මෙවැනි විකල්පයකට නොගියා නම් අපට විය හැකි පාඩුව ඇතැම් විට විශාල අගයක් විය හැකිය.

උදාහරණයක් ලෙස ගිය වසරේ (2020* තෙල් මිල ඇමෙරිකානු ඩොලර් 14 දක්වා අඩු වූ අවස්ථාවේ මෙවැනි අනාගත ගිවිසුම්වලට අප එළඹියා නම් අපට සිදු වන වාසිය ඉතා විශාලය. එබැවින් අතීතය ගැන ළත නොවී ඉදිරියේ දීද මෙවන් අවස්ථාවක් ඇති වුවහොත් ඒ වාසිය අපට ලබා ගැනීමට කටයුතු කිරීමට ඉඩකඩ තිබේ. ඒ නිසා දැන්වත් අප ක‍්‍රියාත්මක විය යුතු වේ. තව ද මෙවැනි මෙවලම් භාවිතා කිරීමෙන් එදිනෙදා අප විසින් මිල දී ගන්නා ඛනිජ තෙල් සඳහා ද හොඳ මිලක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

තව ද මෙම මූල්‍ය මෙවලම් වලින් අනාගත ගිවිසුම් කෙටිකාලයක් (මාස තුනක් වැනි* මිල ස්ථාවරව තබා ගැනීමට යෝග්‍ය වන අතර දිගුකාලීන අනාගත තෙල් මිලදී ගැනීම තෝරා ගැනීමේ බලය සහිත ගිවිසුම් යන මූල්‍ය මෙවලම යොදාගත හැකිය. රජය විසින් ඇති කරන ලද මිල ස්ථාවර කිරීමේ අරමුදලින් ඉතා සුළු කොටසක් යොදාගෙන මෙවැනි විකල්පයකට එනම් තෙල් මිල අවදානම් කළමනාකරණ සැලසුමකට ගියේ නම් අද අප රට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්නේ නැත. එසේම වෙළෙඳපොළේ මිල වෙනස් වීම පිළිබඳව ද අප විසින් අධ්‍යනයක් කළ යුතුය. ඒ සඳහා මූල්‍ය වෙළෙඳපොළ ගැන දැනුම ඇති විද්වතුන් විසින් යොදා ගන්නා ආර්ථික මූලධර්ම මෙන්ම තාක්ෂණික දත්ත ද උපයෝගී කරගත හැකිය. එමගින් බොහෝ ආර්ථික විද්වතුන් විසින් ඉදිරි මිල උච්ඡුාවචනය වීම් පිළිබඳව පුර්වකථන කරනු ලබයි. ඒවා ද අපට මෙහිදී ඉතා වැදගත් කොට සැලකිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
 

advertistmentadvertistment
advertistmentadvertistment