අඩ සියවසකින් උදා වූ  “ඒ අසිරිමත් නොනගතය”

318

භින්න රුචික සමාජයක කේවල මතයක පිහිටා විනිශ්චයන් සැපයීම අගතිගාමී ක්‍රියාවකි. නමුදු සාහිත්‍ය විචාරකයකු ස්ව විචාරක්ෂියට ගෝචර වන්නා වූ නිර්මාණයන්හි සාධනීය ලක්ෂණයන් පමණක් නොව සාධනීය නොවන ලක්ෂණයන් ද වෙසෙසා දැක්විය යුතුය. එය සාහිත්‍යයෙහි ප්‍රගමනයට ඉමහත් රුකුලක් වනු ඇත.

 එහෙත් නූතන සාහිත්‍ය කල්ලිවාදීහු ස්වීය සාමාජිකයන්ගේ නිර්මාණ පමණක් අද්වීතීය නිර්මාණ ලෙස ඔසවා තබති. එයට අනුගත වෙමින් පාඨකයෝ ද තම කියවීම් වපසරියට සීමා මායිම් බැඳ ගනිති. ඇතැම් විට එය වඩාත් යෝග්‍ය දේ පරිශීලනය කිරීමේ වියත් මනෝ භාවයක් ද විය හැකිය. ඇතැමෙක් රැඩිකල්වාදියකු යැයි තමා විසින්ම හුවා දක්වමින් සමාජශෝධක ක්‍රියාවෙහි නිරත නොවී සමාජ නාශක ක්‍රියාවෙහි නිරත වෙති. ගුණදාස අමරසේකරයන්ට අනුව නම් ඔවුන් “නූතන ව්‍යාධිය” වැළඳුණු අනුකාරකයින් ය.

අඩ සියවසකින් උදා වූ  “ඒ අසිරිමත් නොනගතය”

“නූතන ව්‍යාධිය, අනුකාරක” යන ඉහත යෙදුම් විග්‍රහ කරන තැන ඔහු සාහිත්‍යකරුවා යනු කවුරුන් ද? ඔහුගේ කාර්යභාරය කුමක් ද? යන වග මෙසේ පෙන්වා දෙයි. “සාහිත්‍යය නමැති දර්පණ තලය හමුවෙහි වැටී ඇති තම පිළිබිඹුව ඇසුරෙනුයි ජාතියක් තමන්ගේ ගමන් මඟ දැකගන්නේ; තමන්ගේ ප්‍රගතියට අවශ්‍ය මං සලකනු දකින්නේ; තමන්ගේ අනන්‍යතාව දැකගන්නේ; සාහිත්‍යකරුවා කවියා ඒ තරම් වැදගත් ස්ථානයක් ගන්නේ මේ නිසායි.” (සිංහල කාව්‍ය සම්ප්‍රදාය)

 එය මැනවින් අවබෝධයට ගත් බුද්ධි ගලප්පත්ති ශූරින්ගේ “ඒ අසිරිමත් නොනගතය නම් කාව්‍ය සංග්‍රහය” සහෘද මනසට ඇතුළුව බුද්ධියේ අඳුරු පැහැ නසන ළහිරු කිරණක් වැනි ය. එපමණකුදු නොව ඔහුගේ “කවි මිහිර” නම් කාව්‍ය විචාර ලිපි පෙළ ද තත් අවබෝධයට නිදසුන් වේ. එහිදී ස්ව මිත්‍ර බන්ධනයෙන් තොරව නිර්මාණයෙහි සාර්ථකත්වය ප්‍රමුඛ සාධකය ලෙස ගෙන එයට නිසි ඇගයීම් ලබා දීමට තරම් ඔහු උපේක්ෂා සහගත වේ.

 එසේම ඔහුගේ කවිය ඊනියා සුචරිතවාදී, විප්ලවවාදී අනුකරණයෙන් මිදුණු මානවවාදයෙන් පරිපූර්ණ හෙළ ජන සාහිත්‍යයෙහිම දිගුවකි. කතුවරයා ද තම කාව්‍ය ආභාසය කුමකින් සුපෝෂණය වී ද යන්න පිළිබඳව සඳහන් කිරීමට නො පසුබට වී ඇත. එය අගය කළ යුතු කරුණකි. සමීප නිදසුනක් නම් මෙම කාව්‍ය සංග්‍රහයේ දී “සක්මන් මාවතෙහි දුටු නන්නාඳුනනා යුවතිය” මැයෙන් විරචිත පද්‍ය පන්තිය යි. එය අකුරු ගැන්වෙද්දි ජී.බී. සේනානායක කවියාගේ “අලුත ගෙනා මනමාලි” කාව්‍ය නිර්මාණය සිහියට නැඟුණ බව නිර්ලෝභීව සඳහන් කර ඇත. “කවිරනුහරතිච්ඡායා” යන සුප්‍රකට ශ්ලෝක පාඨයට අනුව කවියා වෙනත් කවියන්ගේ අර්ථයෙහි ඡායාව ගැනීම සුලභ දෙයකි. එම ඡායාව උපයෝගී කරගනිමින් ප්‍රතිභාසම්පන්න කවියා තම කවියට ආලෝකයක් ලබා දෙයි. බුද්ධීන් ද සිදු කළේ එයම නොවේ ද?

 “ඒ අසිරිමත් නොනගතය” යන ග්‍රන්ථ නාමය ද යටි අරුත් ජනිත කරවන්නකි. එනම් කොරෝනා වසංගතය හේතුවෙන් මිනිසුන් රාජකාරීන්ගෙන් ඉවත්ව නිවෙස්වල තුළ රැඳී සිටි සමය යි. රෝග බියක් අසිරිමත් වූයේ කෙසේ ද? යන්න ප්‍රශ්නාර්ථයකි. නමුදු කතුවරයාගේ පවතින සමාජ ක්‍රමය පිළිබඳ දෘෂ්ටිය අධ්‍යයනය කිරීමෙන් එයට පිළිතුරු සොයා ගත හැකිය.

 “රෙදි මෝලේ මැෂින්වලට
 හිර වී තෙරපී සිටිනා
 කම්කරුවන්ගේ සිරුරින්
 පිටවෙන ඩාදිය මුසු වී
 කළු පාටට දුම් යනවා” (ලුම්බිනිය හා රෙදිමෝල, දොළොස්මහේ පහන 1971)

 “දස දහස් සංඛ්‍යාත
 රැකී රක්ෂා නොමැති
 උගත් තරුණන් සිටින
 පෝලිමට එකතු වී
 ඔබ කෙසේ රකින්නෙ ද
 මගේ දියණියැන්දා….”

 (තක්සලා පාසලෙහි කුල සිරිත් බිඳී ඇත, කැටපත් පවුර 1972)

 “අප සියලු දෙන යළිත් සිරව ඇත
 ගිරි ලෙනේ
 අඳුරු බියකරු සිහින බීත සිතුවම් අතර

 ගැලවෙන්න මං නොදැන තනිවෙලා නොවෙද දැන්” ( සිංහබාහු කුමරුටයි, පාර වසා ඇත. 1974)

 “තාලි හා අරුංගල් දකින සිත බිය වෙතේ ලැබෙන හැම රුපියලම නැගණියන් නමට වේ

 දෑවැද්ද මල් සරට අල්ලසක් වනු ඇතේ

 තල් වැටෙන් එහා ලොව සොඳුරු නැත සිතනසේ” ( බෝඩිමේ සිටි මිතුරෙක් බෝඩිමට නො ආවෙය, දෙදෙනාම දියණියෝ 1983)

 “කළුවරේ සැඟවී
 කළුවන් වතින් සැරහී
 කළු ආරංචි ගෙන
 කළුවර මැදින් පැමිනුණ
 කළුවර තිරිසනුනි
 තොපහට ශාපවේවා”

 (කළුවර, නිශ්චලයි රාත්‍රිය 1992)

 ඉහත නිදසුන් මඟින් මෑත කාලීන ලාංකීය සමාජයේ ක්‍රමික විකාශනයෙන් උද්ගත වූ අඳුරු පැතිකඩයන් කෙරෙහි කවියා සංවේදී වූ බව ප්‍රකට වේ. එනම් නාගරීකරණය, විරැකියාව, වර්ගවාදී කලකෝලාහල, විප්ලවාදී අරගල ආදිය සම්බන්ධවයි. මෙයට අමතරව රැජිනක් හැඬුවාය (1976) තුරුලිය අකුරු විය (1998) දවස හෙටයි(2003) නිම්නැති තුන්යම (2007) පසළොස් පැය (2019) ආදි කාව්‍ය සංග්‍රහයන්හි ද පිළිබිඹු වනුයේ තත්කාලීන සමාජයෙහි උද්ගත වූ ඛේදනීය සංසිද්ධීන් ය.

 “බක්මහ මූසලම මාසයයි, බෝකර
 ලයිලැක් මල් මැරුණු පොළොවෙන්, මුසුකොට
 මතක හා ආශා, සොලවා
 අලස මුල් වසන්ත වැස්සෙන්
 සිසිරය අප උණුසුම් කළා වසමින්
 පොළෝතල හිමෙන්” (නූතනවාදය හා සිංහල කවිය, චින්තා පවිත්‍රානි)

 ඉහත විස්තරයන්ට අනුව මාර්ටින් වික්‍රමසිංහයන් ඇතැම් හෙළ කවියන් විෂයෙහි ඉදිරිපත් කළ විවේචනය බුද්ධීන්ට වලංගු නොවේ. මක් නිසාද යත් ඔහු පුරාණ හෙළ කවිය ගුරු තැන්හි තබා නව කවි මඟක යෑමට අවශ්‍ය අනුභූතීන්ගෙන් හා ප්‍රතිභාවෙන් පොහොසත් වූ බැවිනි. “කාලිදාසගෙන් පසු පිරිහෙන්ට වූ ඉන්දියාවේ පහළ වූ පණ්ඩිත කවීහු ද ඔවුන්ගේ ව්‍යාජ කාව්‍යයන් ගුරු කොටගත් ලංකාවේ බොහෝ කවීහු ද මේ ප්‍රතිභානයෙන් හීනයෝ වූහ. ඔවුන් නැවත නැවතත් කාව්‍ය රචනා නොකෙළේත් ගත් මඟ ගත් කවීන් නිසා ඉඟටිය තෙක් හෑරුණු මඟෙහිම එරුණෙත් එහෙයිනි.” (සිංහල සාහිත්‍යයේ නැඟීම)

 මෙලෙස පෙරළිකාරී කවි පරපුරක ආරම්භකයෙකු වන බුද්ධි ගලප්පත්තීන් හෙළ සාහිත්‍ය නම් ශුද්ධ භූමියේ දල්වන ලද දොළොස් මහේ පහන් සිළුව අඩ සියවසකට අධික කාලයක් නො නිවී රැක ගැනීමට සමත් විය. එය මතු දශක ගණනාවක් පුරාවට ද නො නිවී දැල්වෙනු ඇතැයි මාගේ විශ්වාසය යි.

● තැන්නහේනේ නාගිත හිමි
 
 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment