අතක් පයක් හෝ ඇඟිලි කැපී වෙන්වුණොත් කැපුණු අවයවය සමග ළඟම රෝහලට එන්න

389
  • විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධනගෙන් මහජනතාවට විශේෂ පණිවුඩයක්

යම් අයකුගේ අතපය හෝ ඇඟිලි කැපී වෙන්වී ගිය මොහොතක රෝගියාද සමග සිරුරෙන් වෙන්ව තිබෙන කොටස සමග රෝහලකට ඉක්මනින් ගෙන එන්නේ නම් බොහෝ දුරට ඒවා යළි බද්ධ කිරීමට හැකියාව පවතින බව කෑගල්ල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියා සිටී.

තරුණියකගේ සිරුරෙන් වෙන්වූ අතක් පැය පහක කාලයක් තිස්සේ කළ ශල්‍ය කර්මයකින් පසු එය සාර්ථකව යළි බද්ධ කිරීමට හැකි වූයේ අදාළ තරුණියගේ සිරුරෙන් ඉවත්ව තිබූ අත ආරක්ෂාකාරීව රෝගියා සමග රෝහලට ගෙනැවිත් තිබූ නිසා යැයිද ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා කියා සිටියේය.

මේ වනවිට අත කැපී වෙන්වූ විසිඑක් හැවිරිදි නදුනී අංජලිකා සමරසේකර නමැති තරුණිය ඉතා සුවෙන් සිටින බවද ඒ මහතා කීය. කෑගල්ල වතුර, නීලපලාගම්මන පදිංචි මෙම තරුණියගේ අත කැපී වෙන්ව තිබුණේ ඉකුත් 04 වැනිදා රාත්‍රියේය. ඇය පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන්නියකි. ඉකුත් 04 දා සවස නිවෙස අසල ඇතිවූ අරගලයකට මැදිහත් වී ඇත. එහිදී බාප්පා විසින් එල්ල කරන ලද මන්න පහරක් ඇයගේ අතට වැදී අත සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් ඇත. අසල්වැසියන් විසින් අත හා ඇයව රාත්‍රී 7.45 ට පමණ කෑගල්ල රෝහලට ගෙනැවිත් ඇති අතර වෛද්‍යවරුන් විසින් එම අවස්ථාවේදීම අත බද්ධ කිරීම ආරම්භ කර පැය පහකින් පමණ අවසන් කිරීමට හැකිවූ බවත් ඇය පෙරේදා (05 දා) වනවිට සුවසේ සිටින බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසීය.

ශිරාන් රණසිංහ සහ කෑගල්ල – ඇම්. බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment