අතරමැදි ආණ්ඩු එපා අගමැති මහින්දමයි: ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරයි

395

සර්වපාක්ෂික හෝ වෙනත් අතරමැදි ආණ්ඩු වෙනුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඉදිරියට කර ගෙන යෑමට ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව තවදුරටත් කරගෙන යායුතු බවට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් එම කණ්ඩායම් රැස්වීමේදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එය සුමිත් උඩුකුඹුර මහතා විසින් ස්ථිර කර තිබේ.

පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී එම කණ්ඩායම් රැස්වීම පවත්වා ඇත. එහිදී එම මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අදහස වී ඇත්තේ ආණ්ඩුව කර ගෙන යන්නේ නම් ආණ්ඩුව ලෙස ස්ථාවරව කටයුතු කිරීමටත් නැතිනම් විපක්ෂය ලෙස කටයුතු කළ යුතු බවත්ය. එසේ නොමැතිව සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීමට කිසිවිටෙකත් ක්‍රියා කළ යුතු නැතැයි එහිදී අවධාරණය කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළ යුතු බවට ඇතැමුන් කරන යෝජනාවලට එරෙහිව කටයුතු කළ යුතු බවටත් විපත්ෂයට බහුතර බලයක් ඇත්නම් ආණ්ඩුවක් කරගෙන යෑමට ඔවුන්ට ඉඩ දිය යුතු බවටත් තීරණය වූ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට කීය.

දැනට පවතින අර්බුදකාරී තත්ත්වය කඩිනමින් පාලනය කිරීමටත් හිඟයකින් හා පෝලිම්වලින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටත් මෙහිදී සැලකිල්ල යොමු වී ඇත.

ඉන්ධන හිඟය සහ පෝලිම් ඉක්මනින් අවසන් කරන බවට විෂයභාර ඇමැති කංචන විජේසේකර මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනාවලට ප්‍රධාන වශයෙන්ම ඉඩ ලබා දුන් බවද ඉහත මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment