අතහරින්න කියන අයම තමයි සේරුවාවිල අල්ලන්න හදන්නේ

936

කාවන්තිස්ස රජතුමා විසින් කරවූ සේරුවිල රජමහා විහාර අයත් වන්නේ අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශ්වය එම නිකායේ මහානායක හිමියන් ඇතුළු සංඝ සභාව විසින් මේ වන විට එම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක කොළඹ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පත්කර ඇතත් මේ වන විටත් එම විහාරස්ථානය පාලනය කරනු ලබන්නේ වෙනත් පිරිසක් විසිනි.

අතහරින්න කියන අයම තමයි සේරුවාවිල අල්ලන්න හදන්නේ
නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප‍්‍රධාන සංඝ නායක, කොළඹ සේරුවාවිල බෞද්ධ මධ්‍යස්ථානයේ අධිපති, ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය  කොටපොල අමරකිත්ති හිමි

ඇති වී තිබෙන මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අප පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන්ගෙන් විමසා සිටි අතර, එහිදී ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය උන්වහන්සේ පැහැදිලි කළේ මෙසේය.

ප‍්‍රශ්නය – සේරුවාවිල රජමහා විහාරයට බලහත්කාරයෙන් පිරිසක් ඇතුළු වී එහි පාලන කටයුතු සිදුකරන බව වාර්තා වෙනවා. ඒ පිළිබඳ ඔබවහන්සේගේ අදහස කුමක්ද?

පිළිතුර – ඔය ගැටලූව වසර 5 ක පමණ කාලයක් තිස්සේ අළුයට ගිනි පුපුරු වගේ තිබුණා. සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස වැඩ සිටින සේරුවිල සරණකිත්ති නායක හිමියන් අපවත් වූයේ 2016 දී. උන්වහන්සේ අපවත් කළාද, අපවත් වූවාද යන ගැටලූව තිබෙනවා. උන්වහන්සේ අපවත් වූ පසු එම ස්ථානයට පනින්න තව එක් කෙනෙක් බලාගෙන සිටියා. ඒ තමයි මුංහේනේ මෙත්තාරාම කියන භික්‍ෂුව. ඒ සඳහා එම භික්‍ෂුව නිකායේ සංඝ සභාවත් මුලාවට පත් කරමින් විවිධ කපටි මාර්ග අනුගමනය කළා. ඒ ආකාරයට තමයි මුංහේනේ මෙත්තාරාම භික්‍ෂුව සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස පත් වූයේ. නඩු කටයුතු මැද තමයි එම කටයුත්ත කරගෙන ගියේ.

ඒ අතරේ මටයි, කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හාමුදුරුවන්ටයි වාරණ 3 ක් දැම්මා. එම වාරණ තුන දාලා තමයි එම විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළේ.

අපට දැනිච්ච ආකාරයට මුංහේනේ මෙත්තාරාම භික්‍ෂුව ඒ ආකාරයට කටයුතු කළේ උන්වහන්සේගේ පුද්ගලික අවශ්‍යතාවයකට වඩා වෙනත් භික්‍ෂුවකගේ අවශ්‍යතාවයට. එම භික්‍ෂුව සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ අසපු පවත්වාගෙන යනවා. එම භික්‍ෂුව මීට කලකට ඉහත දී සඳහන් කරලා තිබෙනවා සේරුවිල විහාරයේ බලය අල්ලන බව. අවුරුදු 25ක පමණ සිට එම භික්ෂුව ඒ අදහස ඇතිව කටයුතු කර තිබෙනවා. එපමණක් නොවෙයි ඔබ වැඩසිටින බෞද්ධාලෝක මාවතේ පිහිටි ශාන්ති පදනම සහ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය පිහිටි ස්ථානයත් අල්ලා ගැනීමේ අදහසක් මෙම භික්ෂුවට තිබෙන බව අපට දැන ගන්නට ලැබිලා තිබෙනවා. මේවා අපි පස්සේ තමයි දැන ගත්තේ. මෙම භික්ෂුව එයාගේ ගෝල හාමුදුරුනමකට කියලා තිබෙනවා ඔයා ගිහින් සේරුවිල අල්ලන්න එතකොට අපිට බෞද්ධාලෝක මාවත අල්ලන එක පොඩි වැඩක් බව ප‍්‍රකාශ කරලා තිබෙනවා.

මට මෙහෙම කරන මෙම හාමුදුරුවෝ අවුරුද්දක් පමණ මගේ ළඟත් හිටියා. මුංහේනේ මෙත්තාරාම හාමුදුරුවෝත් මෙම හාමුදුරුවන්ගේ අනුදැනුම ඇතිව කටයුතු කළ බව තමයි අපි විශ්වාස කරන්නේ.

අවුරුදු හතරහමාරක් පමණ කටයුතු කරමින් සිටියදී මුංහේනේ මෙත්තාරාම හාමුදුරුවෝ ලෙඩකට ප‍්‍රතිකාර ගැනීම සඳහා ඉන්දියාවට වැඩම කර සිටියදී එහිදී අපවත්වනවා. එම මරණය පිළිබඳවත් අපට පොඩි සැකයක් තිබෙනවා.

ප‍්‍රශ්නය – මුංහේනේ මෙත්තාරම හිමියන් අපවත්වීමෙන් පසුවද සේරුවිල රජමහා විහාරය පිරිසක් විසින් අල්ලාගෙන තිබෙන්නේ.

පිළිතුර- මෙත්තාරම හාමුදුරුවන්ගේ මරණයෙන් පස්සේ අපි ගියා සේරුවිල රජමහා විහාරයට ඒක අපේ වගකීමක්නේ. මමත් සමඟ හාමුදුරුවරු 15 ස් නමක් පමණ වැඩම කළා. මම එම ස්ථානයට ගිය පසු අවට හාමුදුරුවරු එම ස්ථානයට රැුස්වූවා. අපි සේරුවිල විහාරයේ පොඩි හාමුදුරුවරු කිහිප නමක් වැඩ සිටියා. එම හාමුදුරුවරු එම අවස්ථාවේදී අපට කිව්වා අපට නැවතීම සඳහා එම ප‍්‍රදේශයේ ගෙස්ට් හවුස් එකක් සූදානම් කර ඇති බව. අපි කිව්වා අපිට ගෙස්ට් හවුස් ඕනි නෑ, අපිට පන්සල හොඳයි පැදුරු දාගෙන හරි ඉන්නම් කියලා. එහෙම කියලා තමයි අපි එම විහාරස්ථානයේ නතර වූයේ.

අපි හිතන්නේ එම තත්ත්වය අර අසපු හාමුදුරුවෝ තවත් හාමුදුරුනමක් නිරීක්‍ෂණය කළා. පසුවදාම ඔවුන් රජයේ ඉහළම කෙනෙකුට දැනුම් දීලා අපිව එම විහාරස්ථානයෙන් ඉවත් කර දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එම දැනුම් දීම අනුව 50 ක පමණ පොලිස් පිරිසක් ට‍්‍රක් රථයකින් පැමිණ තිබෙනවා. අපව අත්අඩංගුවට ගැනීම සඳහා. අපිට දැන ගන්නට ලැබිල තියන ආකාරයට නිරෝධායන නීති කඩකිරීමේ කොන්දේසිය යටතේ තමයි අපිව අත්අඩංගුවට ගැනීමට සූදානම් වී තිබෙන්නේ. මම ඉහතින් සඳහන් කළ අය අපව අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවා තැබීමට ස්ථානයකුත් සොයලා තිබෙනවා. එම සියලූ තොරතුරු අපිට ඇතුළෙන්ම ආරංචි වූවා. එම නිසා පොලිසිය එම ස්ථානයට ළඟාවීමට ප‍්‍රථම අපි එම ස්ථානයෙන් පිටත් වූවා.

අපි එම ස්ථානයෙන් ඉවත්ව ආවාට පසුව අර අසපු හාමුදුරුවන්ගේ ගෝලයෝ වරින් වර කණ්ඩායම් වශයෙන් එම ස්ථානයට ඇවිත් නතර වී තිබෙනවා. මේ අවස්ථාව වනවිට එම පිරිස 40 ක් පමණ වන බව අපිට දැන ගන්නට ලැබිල තිබෙනවා. ඔවුන්ගේ අරමුණ තමයි අපගේ ගමන වැළැක්වීම. ඔවුන් කටයුතු කරමින් සිටින්නේ මැරයන් ලෙස තමයි.

ප‍්‍රශ්නය – සේරුවාවිල රජමහා විහාරය අයත් වන්නේ අමරපුර මහා නිකායේ කල්‍යාණවංශ පාර්ශ්වයට. එම පාර්ශ්වයේ මහානායක හිමියන් ඇතුළු සංඝ සභාව මෙම ගැටලූව නිරාකරණය කිරීමට මැදිහත් වූයේ නැද්ද?

පිළිතුර – නිකායෙන් කරන්නේ විහාරාධිපති පත්කිරීම පමණයි. අග්ග මහා පණ්ඩිත උත්තරීතර මහානායක දොඩංපහල චන්ද්‍රසිරි හිමියන් ඇතුළු සංඝ සභාව විසින් මට සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපතිකම ලබාදී තිබෙනවා. එම තීරණය බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා විසින් අනුමත කළ යුතු වනවා. මේ වනවිට එම කටයුත්ත සිද්ධ වී තිබෙනවා. ඒක තමයි විහාරාධිපතිවරයකු පත්කරන සාමාන්‍ය පිළිවෙත.

නමුත් මහානායක හිමියන්ටයි, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාටයි, මටයි එරෙහිව මේ වනවිට අලූතින් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පිටුපස සිටින්නෙත් මම ඉහතින් සඳහන් කළ අසපු හාමුදුරුවන්ම තමයි. එම වාරණය ගෙන තිබෙන්නේ විහාරාධිපති ධුරය සඳහා හාමුදුරු කෙනකු පත්කිරීම වැළැක්වීම සඳහායි. එම වාරණය නිසා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා මාව විහාරාධිපති ලෙස පත්කිරීම පිළිබඳව නීතිපතිතුමාගෙන් විමසා සිටියා. නීතිපතිතුමා මාව පත් කිරීම නීත්‍යානුකූල බව ලිඛිතවම දැනුම් දී තිබෙනවා.

ප‍්‍රශ්නය – මහානායක හිමියන් ප‍්‍රධාන සංඝ සභාව විසින් ඔබවහන්සේව සේරුවිල රජමහා විහාරයේ විහාරාධිපති ලෙස පත්කර තිබියදී ඔබවහන්සේගේ අනුමැතියෙන් තොරව වෙනත් පිරිසක් එම විහාරස්ථානයේ රැුඳී සිටින්නේ කෙසේද?

පිළිතුර – ඒකනේ කියන්නේ. එක්කෝ මහානායක හිමියන්ට කීකරු වෙන්න ඕනි. ඒ වගේම සම්ප‍්‍රදායට ගරු කරන්න ඕනි. ඒ කිසිවක් නොමැතිව හිතුවක්කාරකමටනේ මේ කටයුතු කරන්නේ.

මේ අය රටට පෙන්වන්නේ භාවනා කරන, බොහොම සන්සුන්, ශාන්ත, සුන්දර පිරිසක් ලෙසනේ. මේ අය තමයි ජනතාවට අත්හරින්න අත්හරින්න කියලා කියන්නේ. එකම තමයි කියන්නේ. ඔන්න අත්හැරලා තිබෙන විධිය.

සාකච්ඡා කළේ  එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment