අත්අඩංගුවට ගත් සාජන්ට පොලිස් කූඩුවේදී ගෙදර වගේ නින්ද ගිහින් – හත්වලාමයි

688

හීන්බණ්ඩා ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුනේ වයස අවුරුදු දහනවයේදීය.

 ඔහු මතට තදින්ම ඇබ්බැහි වී ගියේ රාජකාරි කටයුතු මැදය.

පොලිස් දෙපාර්තමේන්තුවට ආයුබෝවන් කීවේ කළුතර ප‍්‍රදේශයේ පොලිසි කිහිපයක අවසාන වශයෙන් රාජකාරි ඉටු කළ පසුවය.

 ඔහු පදිංචිව සිටියේ ද කළුතර නුදුරු ගමකය.

 විශ‍්‍රාම ගිය පසු ඔහුට තිබූ සමාජ ගරු සරුව නැත්තටම නැති වී ගියේ පෙන්ෂන් ගිය පොලිස්කාරයා මේ යැයි කියමිනි. පෙන්ෂන් ගිය පසු ඔහු සිකුයුරිටි ජොබ් එකකට ගියේ හවසට අඩියක් ගැසීමට ඉන් මුදලක් ලැබෙන බැවිනි.

 ඉකුත් සිකුරාදා ඔහු වැඩ ඇරී නිවසට එන්නට ගත්තේ යතුරුපැදියෙනි. එන ගමන් අවන්හලකට ගොඩ වූ ඔහු කටගොන්නක් බීවේ කන සාක්කුවට වැටෙන්න ඉඩ හරමිනි. නිවසට එන්නට යතුරුපැදියට ගොඩ වූයේ සතර අත වැනෙමිනි. එන අතරමඟ සිටි රථ වාහන පොලිසිය යතුරුපැදිය නතර කරන්නට අණ කළේ ඒ අල්ලපනල්ලේය.

 ‘‘මම සාජන් හීන්බණ්ඩා’’ පෙන්ෂන් ගිය සාජන් ඇයි අඳුරගන්න බැරිද’’ රථ වාහන පොලිස් කොස්තාපල්වරු හමුවේ වෙරිමරගාතේ බොහෝ දේ කියවන්නට ගත්තේය. ‘‘හරි මහත්තයා ඒත් බීලා ඔහොම ගෙදර යන්න බෑනේ. යමු පොලිසියට’’

 හීන්බණ්ඩා යතුරුපැදියේ පිටුපසට නග්ගා ගත්තේ ඔහු ගේම ඉල්ලමින් කෑ ගසද්දීය.

 ‘‘මාව කූඩුවට දාපල්ලා බල්ලො….’’ වෙරි මරගාතේම විශ‍්‍රාමික සාජන් නින්දට වැටුණේය.

 ‘‘ ඕයි නැගිටිනවා.’’ ඒ සද්දය ඇසී ඔහු ඇස හැර බැලූයේ පොලිස් කූඩුවේ නින්ද සැප නින්දක් බව කියමිනි. ඔහු ඉදිරියේ හිටියේ පොලිස් නිලධාරීන් නොව ගෙදර නෝනාය.

 එතකොට උන්ටික මාව ගෙනත් දැම්මේ කූඩුවට නොවෙයිද? නිවසේ පුරුදු ඇඳෙන් බැස ගත් ඔහු සිහ එළවා ගත්තේ බිරිඳ හදාදුන් තේ කෝප්පය හිස් කළ පසුවය.


 – පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment