අත්අඩංගුවට ගැනීම වළක්වන්න සිරිල් ගාමිණී පියතුමාගෙන් පෙත්සමක්

389

පාස්කු ප‍්‍රහාර මාලාව පිළිබඳ දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාව සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් දරන උත්සාහය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ පාලනාධිපති සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා ඊයේ (02 දා* ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 නීතිඥ නාමල් කරුණාරත්න හා නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන මහත්වරුන් මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලලිත දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පේ‍්‍රමරත්න, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලෙයි, පොලිස්පති චන්දන වික‍්‍රමරත්න යන මහත්වරුන් හා නීතිපතිවරයාත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාත් නම්කර තිබිණි.

 2019.04.21 වැනිදා මරගෙන මැරෙන මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප‍්‍රහාර මාලාව හා ඊට අනුශාංගික කරුණු පිළිබඳව දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡුාවේදී රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂවරයා සම්බන්ධයෙන් තමාට අනාවරණය වී තිබූ කරුණු හෙළි කළ බවද සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමන් සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබිණි.

 එකී සාකච්ඡුාවෙන් අනතුරුව සුරේෂ් සලෙයි මහතා තමාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අද (3 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත් එම පෙත්සම මගින් අධිකරණයට පෙන්වාදී තිබූ සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා එලෙස ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දැනගන්නට ලැබී ඇතැයිද පෙන්වාදී තිබිණි.

 එබැවින් සිය පෙත්සම අද විවෘත අධිකරණය හමුවේ කැඳවීමට අවසර ලබාදෙන ලෙසත් පෙත්සම් විභාගයට ගෙන අවසන් වනතුරු එකී කරුණු සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබිණි.

 ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment