අත්අඩංගුවේ සිටින සැකකරුවන්ට ආරක්‌ෂාව නොලැබීම ගැන පොලිස්‌පති කරුණු කිවයුතුයි: ශ්‍රී ලංකා නීතිඥ සංගමය

329

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් වෙත ආරක්ෂාව සැලැස්වීමට අසමත් වීම පිළිබඳව පොලිස්පතිවරයා වහා කරුණු පැහැදිලි කළ යුතු බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන ඝාතනවල වගකීම එම ඝාතන සිදුකළ පුද්ගලයන් වෙත පමණක් නොව එම ඝාතන සඳහා නියෝග නිකුත් කළ පුද්ගලයන් සහ සැකකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අසමත් වූ පුද්ගලයන් වෙත ද යොමු විය යුතු බවත් හෙතෙම පැවසීය.

එච්.එල්. ලසන්ත හෙවත් ‘ටින්කරින් ලසන්ත’ නමැති සිය සේවාදායකයා පසුගිය නොවැම්බර් 25 වැනිදා රාත‍්‍රියේ කළුතර කොට්ඨාස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් එහිදී ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විට දී ඇති වන වෙඩි හුවමාරුවකින් මියගිය බවට ඇඟවෙන පරිදි පොලිසිය විසින් ඔහු ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් නීතිඥ සංජය ආරියදාස මහතා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා අමතමින් දන්වා ඇති බවත් හෙතෙම කීවේය.

එහිදී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට ඇතුළු වගකිවයුතු අංශ රැුසකට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් අදාළ සේවා දායකයා ඉකුත් 26 වැනිදා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවක දී වෙඩි වැදී මියගිය බවට මාධ්‍ය වාර්තා පළ වූ බවත් ඒ අනුව ශ‍්‍රී ලංකා පොලිසිය නීති විරෝධී ඝාතනයක් සමග නැවතත් සම්බන්ධ වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment