අත්දැකීම් ඇති රනිල්ට රට ගොඩගන්න කාලයක් දිය යුතුයි – පැල්පොල විපස්සි නාහිමි

128

දීර්ඝකාලීන දේශපාලනික අත්දැකීම් ඇති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැගීමට කාලයක් ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නාහිමියෝ පැවසූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24දා) පස්වරුවේ සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරතවූ අතර එහිදී අනුශාසනාවක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

විරෝධතා පවත්වමින් පාලකයන් පලවාහැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහය ලබාදිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

රට ව්‍යසනයකට මුහුණදී තිබෙන අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා නොබියව එම අභියෝගය භාරගෙන තිබෙන බව පෙන්වා දුන් උන්වහන්සේ සියලු අභියෝග ජය ගැනීමට එතුමාට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළහ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා චෛත්‍යරාජයාණන් වහන්සේ සහ බුද්ධ මන්දිරය වැඳපුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත වූ අතර විහාරාධිපති පූජ්‍ය අඹන්වල ඥානාලෝක හිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝරත්නය බැහැ දැක උන්වහන්සේලාගේ සුවදුක් විමසීය. විහාරස්ථානය වෙත පැමිණි සිටි ජනතාව සමග ජනාධිපතිවරයා සුහද කතාබහක නිරත විය.

ඓතිහාසික වටිනාකමකින් යුත් විහාරස්ථානයක් වන සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානය හෙලේනා විජේවර්ධන මහත්මිය සහ දොන් පිලිප් විජේවර්ධන මහතා සඟ සතුකොට පූජා කරන ලද පිං බිමකි.

බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, පා. ම. සුරේන් රාඝවන් යන මහත්වරුන් සහ දායක සභාවේ සභාපති අමරි මන්දිකා විජේවර්ධන, ලේකම් චන්න වික්‍රමසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment