අත්බෝම්බ පේ‍්‍රමයට දඩ හා දඬුවම්

255

අත්බෝම්බයක් පෙන්වා පෙම්වතියගෙන් පේ‍්‍රමය ඉල්ලන්න ගිය චූදිතට වසර දෙකක සිර දඬුවමක් හා 10,000ක දඩයක් නියම කරයි.

පේ‍්‍රම සම්බන්ධතාවට අකමැති වුණයි කෝප වී පෙම්වතියගේ නිවසට ගොස් ජීව අත්බෝම්බයක් පෙන්වා පෙම්වතිය ඇතුළු නිවැසියන් බියගැන්වූ පුද්ගලයකුට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.

මෙලෙස දඩ හා සිර දඬුවම් නියම වූයේ සූරියවැව පාසල් මාවතේ පදිංචි 31 හැවිරිදි මලවීරආරච්චි පටබැඳිගේ ජගත් නමැති අවිවාහක තරුණයකුටය.

චුදිත සූරියවැව ප‍්‍රදේශයේ පදිංචි සිය ඥාති දියණියක හා කලක් පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව පෙම්වතිය ඔහු හා විවාහවීම පතික්ෂේප කර තිබේ. චුදිත අවස්ථා කිහිපයකදීම සිය පෙම්වතියගෙන් යළි පේ‍්‍රමය ඉල්ලා සිටියත් පෙම්වතිය එය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඊට කෝප වූ මෙම චුදිත 2013.01.07 දින පෙම්වතියගේ නිවසට ගොස් පෙම්වතිය බදාගෙන ජීව අත්බෝම්බයක් පෙන්වා නිවැසියන් බියගන්වා තිබේ. එහිදී ක‍්‍රියාත්මක වු පෙම්වතියගේ නිවැසියන් චුදිත අත තිබූ විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බය චුදිත අතින් උදුරා විසිකර තිබේ.

සැකකරු හම්බන්තොට මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව පීඩාකාරී ආයුධයක් වන අත්බෝම්බයක් සන්තකයේ තබාගැනීමේ වරදට හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි. ඒ අනුව පැවති නඩු විභාගයේදී චූදිත ලද මුල්ම අවස්ථාවේදීම විවෘත අධිකරණයේදී වරද පිළිගැනීමකට ලක් කෙරුණි.

ඒ අනුව විත්තිය හා පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලකට ගත් මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා අදාළ චෝදනාව සඳහා චුදිතට වසර දෙකක සිර දඬුවමක් නියම කළ අතර එය වසර 15ක කාලයක් සඳහා අත්හිටවන ලදී. මීට අමතරව රුපියල් 10,000ක දඩයක්ද නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඬුවමක්ද නියම කෙරිණි. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනිතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවීය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment