අත්‍යවශ්‍ය ආහාර මිල අහසේ: ජනතාව දුකසේ

199

වෙළෙඳපොළ තුළ මස්, මාළු, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව මැසිවිලි නඟති.

මේ වනවිට ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇතත්, ඊට සාපේක්ෂව වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩු වී නොමැති බවට ජනතාව චෝදනා කරති.

මාළු මිල ගණන් දෙගුණයකට වැඩි මිලකින් ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝව රුපියල් 1680 ද ඉක්මවා තිබේ.

පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ඊයේ (30 දා) කෙලවල්ලා කිලෝව රුපියල් 1900 ක්ද, බලයා රු. 1400 ක්ද, තලපත් රු. 2700 ක් සහ සාලයා රු.400 ක් ලෙස තොග මිල පැවතිණි.

මේ හේතුවෙන් සිල්ලර වෙළෙඳපොළේ ද මාළු මිල ගණන් විශාල ලෙස ඉහළ දමා ඇතැයි ද ජනතාව පවසති. ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, බෝංචි කිලෝව රු. 500 ක් දක්වාත්, කැරට් රු. 500 ක්, බීට්, මාළු මිරිස් රු. 600 දක්වාත්, බතල, පිපිඤ්ඤා, වැටකොළු, වට්ටක්කා ඇතුළු එළවළු මිල ගණන් ද පෙර දිනවලට සාපේක්ෂව විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.

කුකුළු මස් සහ බිත්තර මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ආපනශාලා මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ පැවසීය.

බිත්තර සඳහා රජය විසින් රු. 44 සහ 46 ලෙස පාලන මිලක් පනවා ඇතත් මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 50-60 ත් අතර මිලකට අලෙවි වෙයි. අතර දැඩි බිත්තර හිඟයක් ද පවතී.

ඩොලරය අඩුවීම සහ දේශීය නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ද අඩුව ඇති නිසා, බිත්තර නිෂ්පාදනය ලාභයක් ද තබා ගනිමින් සිදුකළ හැකි බැවින් රජය ඒ සඳහා සහාය ලබා දෙන්නේ නම් බිත්තරයක් රු.30 කට ලබාදීමට හැකි බව බිත්තර වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා ඊයේ මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment