අත්සන හොරට ගසා යූරියා පැන්නුවැයි මරදන්කල්ල ගොවි සංවිධාන සභාපති සහ භාණ්ඩාගාරික දැලේ

43

ගොවීන් පිරිසකට ලැබිය යුතු කිලෝග්‍රෑම් පණහේ යූරියා පොහොර මිටි විසිඑකක් ව්‍යාජ අත්සන් යොදා වෙනත් පුද්ගලයකුට ලබාදී ඇති බව කියන චෝදනාවක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් මිහින්තලේ මරදන්කල්ල ගොවි සංවිධානයේ සභාපති සහ භාණ්ඩාගාරික ඇතුළු තිදෙනෙක් මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (04 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මිහින්තලේ මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. බී. කුමාරසිංහ (64) නමැති පුද්ගලයකු විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙවැනි වරටත් මිහින්තලේ පොලිසියට ඉකුත් 02 වෙනිදා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත පොලිසිය එම සැකකරුවන් තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර අදාළ වංචාවට අනුබල දුන් බව කියන මරදන්කල්ල ගොවි සංවිධානයේ සභාපතිවරයා, භාණ්ඩාගාරිකවරයා සහ ගොවීන් පිරිසකට අයත් යූරියා පොහොර මිටි විසි එකක් ව්‍යාජ අත්සන් යොදා වැඩි මිලට ලබාගත් බව කියන පුද්ගලයකුද වන බව මිහින්තලේ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඊයේ (04 දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment