අත්හැරීම

1818

මහින්ද රාජපක්‍ෂ දෙවන ජනාධිපති ධුර කාලය දැරීමෙන් පසු විශ්‍රාම ගෙන ගෙදර ගියේ නම් මැනවැ යි ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ චමල් රාජපක්‍ෂ දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය. චමල් සිය සහෝදරයාට මේ බව පැවසිය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ නොව මැදමුලනදී පෞද්ගලිකව ය. මහින්ද රාජපක්‍ෂ දෙවන වර ජනාධිපති වීමෙන් පසු එම පවුලේත් රටේත් පරිහානිය පටන් ගත්තේය. පරිහානියට පත් නොවී බේරුණේ රාජපක්‍ෂ පවුලේ දේශපාලනය නොකළ එකම එක සහෝදරයකු පමණි. රාජපක්‍ෂවරු තම සහෝදරයන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ අවවාද කිරීම මගින් පෙනී යන්නේ මෙම පවුල සෑහෙන කලක පටන් විරසක වී සිටින බවකි. මහින්ද රාජපක්‍ෂ දෙවන වර ජනාධිපති වීමේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවේ බිහිවීමය. යහපාලන ආණ්ඩුවේ ප්‍රතිඵලය වන්නේ පොහොට්ටු ආණ්ඩුවක් බිහිවීම සහ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වීමය. ගෝඨාභය ජනාධිපතිවරණයට එන්නේ මහින්ද රාජපක්‍ෂට දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබුණු බැවිනි. අවසානයේදී ගෝඨාභය ජනාධිපති වී, මහින්ද අගමැති වී, චමල්, බැසිල් ශෂීන්‍ද්‍ර සහ නාමල් ඇමැතිවරුන් වී මැයි 9 වැනිදා රාත්‍රි ඔවුන්ගේ දේපළ ගිනිතබන මට්ටමටම වැඩේ අල වී ගියේය.

 මැයි 9 වැනිදා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීම දිගු කාලීන සැලසුමක් නොව ක්‍ෂණික සැලසුමකි. එක පොහොට්ටු මන්ත්‍රී කෙනෙකුගේ ගෙයක් ගිනි තැබූ බව ආරංචි වූ සැණින් ප්‍රචණ්ඩකාරී දාමරිකයෝ තවත් මන්ත්‍රී කෙනෙකුගේ ගේ වටකළහ. කිසිදු ඡන්ද ප්‍රතිඵලයකුත් නැතිව මහජන අරගලයක් හේතු කොට ගෙන රජයේ සහ පෞද්ගලික දේපළ ගිනි තැබීම ඉතා නරක පූර්වාදර්ශයකි. එබැවින් අප මේ මොහොතේත් අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ගිනිතැබීම්වලට සහභාගි වූ පිරිස කරඇඹීමට ලක්කර හිරේට දක්කන ලෙස ය.

 රාජපක්‍ෂවරුන් දේශපාලනයට පැමිණීමේ හොඳක් තිබේ. එමෙන්ම විශාල නරකකුත් තිබේ. රාජපක්‍ෂ දේශපාලනයේ ආදිකර්තෘ තුමා වූ ඩී. ඒ. රාජපක්‍ෂ මධ්‍යස්ථ දේශපාලනයක් කළ ගැමියෙකි. ඔහුගේ දේශපාලන උරුමය මහින්ද රාජපක්‍ෂගෙන් අවසන් වීමට තිබූ නමුත් ඉන්පසු රාජපක්‍ෂ නෑදෑයන් රැලක් ම පාර්ලිමේන්තුව සිසාරා ඇමැති තනතුරුවල හැසිරෙන්නට පටන් ගත්හ. ඇමැති තනතුරු පමණක් නම් මොකද? රටේ හැම තැනකම ඉහළ තනතුරුවල රාජපක්‍ෂවරු වැඩ කරන්නට පටන් ගත්හ. යහපාලනයට පෙර පැවැති ආණ්ඩුවේ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති වූයේ රාජපක්‍ෂ ඥාතියෙකු වූ ජාලිය වික්‍රමසූරිය ය. ඔහුගේ සහෝදරයා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලොකු තනතුරකට පත්විය. ශිරන්ති රාජපක්‍ෂගේ සහෝදරයා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති විය. අරලියගහ මන්දිරය පුරාම සිටියේ රාජපක්‍ෂවරුය. මේ සමූහයට රාජපක්‍ෂ සහෝදර සමාගම යැයි කියන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට සිනා පහළ විය. එසේම සියලු ලොකු බිස්නස් පිටුපස රාජපක්‍ෂවරුන් සිටගෙන සිටින අයුරු දක්නා ලදී. රාජපක්‍ෂ නමැති නමේ බලය කොතරම්ද යත් මහින්ද රාජපක්‍ෂගේ පවුලට කිසිදු සම්බන්ධයක් නැති, රාජපක්‍ෂ නම සහිත පල්හොරු තමන් මහින්ද රාජපක්‍ෂගේ ඥාතීන් බව කියමින් මුදල් ගසා කන්නට වූහ. මහින්ද රාජපක්‍ෂගේ ඥාතීන් විශාල වශයෙන් රජයේ තනතුරු දරන බව රූපවාහිනී සාකච්ඡාවකදී විදේශික වාර්තාකාරිනියක විසින් ජනාධිපති රාජපක්‍ෂට කියන ලදි. එවිට ඔහු කිව්වේ ශ්‍රී ලංකාව කුඩා රටක් බැවින් මේ රටේ සියලුම දෙනා තමන්ගේ නෑයන් බවය.

 2015 දී පරාජයට පත්වීමත් සමඟම මහින්ද රාජපක්‍ෂ මැදමුලන ගෙදර ගියේ ඇත්තෙන්ම විශ්‍රාම සුවයෙන් කල්ගත කිරීම සඳහා ය. එහෙත් දැනටත් බලයේ සිටින දේශපාලන චූන්කාරයෝ ඔහුට පාඩුවේ ඉන්නට ඉඩ දුන්නේ නැත. උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ගාමිණි ලොකුගේ ප්‍රමුඛ පිරිස මහින්ද සුළඟ යනුවෙන් දේශපාලන කුණාටුවක් උපදවා මහින්ද රාජපක්‍ෂ යළි බලයට ගෙන ඒම පිණිස පාර කැපුවේය. ඒ වෙලාවේදී මහින්ද මල්ලී විශ්‍රාම සුවයෙන් තවදුරටත් කල්ගත කළ යුතු බව චමල් අයියා කී බවක් අපට නිකමට ආරංචිවත් නැත. මෙය සාමාන්‍ය පෘථග්ජන සිරිතයි. කෙනෙකුට කෙළවුන විට, ඒ තත්ත්වයට පත්විය යුතු බවට කල්තියා අවවාද දෙන කිසිවෙක් නැත. ඔවුන් කරන්නේ තමන් සතු අවවාද සහ උපදේශ කොතරම් දුරට තමන්ට අවාසියක් කරන්නේද යන්න සලකා බැලීමය. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්‍ෂ පොහොට්ටු ආණ්ඩුවේ අගමැති නොවූයේ නම් චමල්ට, නාමල්ට, සහ චමල්ගේ පුත්‍රයා වන ශෂීන්‍ද්‍රට ඇමැති තනතුරු ලැබෙන්නේ නැත. එහෙත් නැව පෙරළුනු විට එහි පෙරළුණු පැත්තට නගින සියලු දෙනා කියන්නේ  අගමැතිවරයා විශ්‍රාම සුවයෙන් කල්ගත කළේ නම් නැව පෙරළෙන්නේ නැති බවය. සිය පාර්ලිමේන්තු කතාවේදී චමල් රාජපක්‍ෂ මහතා ඉතා වැදගත් දෙයක් කීවේය. එනම් සියලුම දෙනා අත්හැරීම පුදුරු විය යුතු බවය. එසේ නම් රාජපක්‍ෂ පවුලේ අය අතුරින් මුලින්ම විශ්‍රාම ගොස් දේශපාලනය අත්හල යුත්තේ එම පවුලේ වැඩිමලා වන චමල් රාජපක්‍ෂය. ඊළඟ ආණ්ඩුවෙන් ඇමැතිකමක් ලැබීමට ඉඩ තිබෙන බව හැඟුණ විට කවුරුත් දේශපාලනය අත්හරින්නේ නැත. කොහොමටත් පසුගිය අවුරුදු 10 ක පමණ පටන් අත්හැරීම පිළිබඳ සංවාදයක් මේ රටේ පහළ වී තිබේ. සියලුම බුද්ධිමතුන් කියන්නේ අත්හැරීමට පුරුදු විය යුතු බවය. එහෙත් ඒ අය කවුරුවත් අත්හරින්නේ වත් එයට පුරුදුවන්නේවත් නැත. පළපුරුදු දේශපාලනඥයකු වශයෙන් චමල් රාජපක්‍ෂ මුලින්ම කළ යුතුව තිබුණේ බැසිල් රාජපක්‍ෂගේ දේශපාලන ආගමනය වැළැක්වීමය. අද වන විට  ශ්‍රී ලංකාවේ සිටින සියලුම රාජපක්‍ෂලා ඇසීමට නියමිත බැණුම් ඔහුට අහන්නට සිදුවී තිබේ. ඔහු ලබන අපහාස මේ රටේ මුළුමහත් දේශපාලනයටම නිග්‍රහයකි. ඉන්දියානු දේශපාලන ප්‍රවෘත්ති නාලිකා ඔහු ඇතුළු රාජපක්‍ෂ පවුල පතුරු ගසන හැටි චමල් රාජපක්‍ෂ දන්නේ දැයි අපි නොදනිමු. කෙසේ හෝ වේවා අත්හැරීම ඉතා සුදුසුය. චමල් රාජපක්‍ෂ එහි නූතන පරමාදර්ශය වනු දැකීමට අපි කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment