අත්, කට ගැටගසා මරා දමා තිබුණේ කුලී රථ රියැදුරෙක්

505

කැටකැරැල්ල පාලම අසලින් සිරුරේ සුලමුළ හෙළිවේ

සුඛෝපභෝගී මෝටර් රථයකින් කුලී ගමන් සිදුකරන රියැදුරකුගේ දෑත් සහ මුඛය රෙදි කඩකින් බැඳ අභිරහස් ලෙස ඝාතනය කර පානදුර – රත්නපුර කැටකැරැල්ල පාලම අසල සිරුර දමා තිබියදී ඉංගිරිය පොලිසියට හමුවී ඇත.

මියගිය පුද්ගලයා මිනුවන්ගොඩ හල්ලොලුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු බව හෙළි කරගෙන තිබේ.

පානදුර – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම අසල නාඳුනන පිරිමි මළ සිරුරක් තිබෙන බවට තැඹිලි වෙළඳාමේ නිරත පුද්ගලයකු විසින් ඉංගිරිය පොලිසියට දැනුම් දීමෙන් පසු මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

දින කිහිපයකට පෙර කුලී රථයෙන් ගිය සිය සොහොයුරා පිළිබඳව ආරංචියක් නැතැයි මියගිය පුද්ගලයාගේ සොහොයුරෙකු විසින් මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබිණි. ඉංගිරිය පොලිසිය මගින් නාඳුනන මළ සිරුරක් තිබෙන බවට කළ දැනුම්දීම මත හොරණ රෝහලට පැමිණි සොහොයුරා එම මළසිරුර හඳුනාගෙන ඇත.

මියගිය පුද්ගලයා දෛනිකව සිය මවට දුරකථන ඇමතුමක් ලබාදෙන බවත් පසුගිය 12 වැනිදා සිට එලෙස දුරකථන ඇමතුමක් දී නැති බවත් සොහොයුරු විසින් මිනුවන්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.

ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ කලකට පෙර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙන්ව ජීවත් වන බව ද අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment