‘අත් පසුර’  කාව්‍ය රසාස්වාදයට මෙන්ම විචාරයට ද  අත් පසුරක්

440

මෙරට ජීවත් වූ මෙන්ම ජීවත්වන ප‍්‍රවීණ මෙන්ම ආධුනික කවීන් තිස් දෙනකුගේ කාව්‍ය නිර්මාණ තෝරාගෙන ඒවා වින්දනාත්මක විමර්ශනයට හසු කරන කෘතියක් ලෙස ටියුඩර් අමරසේනගේ ‘අත් පසුර’ හඳුන්වා දිය හැකිය. මෙබඳු කෘතීන් බොහෝ දුරට පළවන්නේ අ. පො. ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන තරුණ විද්‍යාර්ථීන්ට මඟ පෙන්වීමක් ලෙසටය. ඒත් විශේෂයෙන් නිර්දිෂ්ට කාව්‍ය ග‍්‍රන්ථය සඳහාය. එබඳු අරමුණකින් තොරව ටියුඩර් මේ වින්දනාත්මක විමර්ශන ග‍්‍රන්ථය රචනා කිරීමට පෙලඹීම පැසසුම් කටයුතු ආදර්ශමත් ප‍්‍රයත්නයකි.

 කවිය සෙසු සාහිත්‍යාංගවලට වඩා වින්දනය නැතහොත් රසාස්වාදනය අරමුණු කරගත් සාහිත්යික ෂානරයකි. ‘රමණීය අරුත් ප‍්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍යයැයි’ ජගන්නාථ පඬිවරයා පැවසීය. කවියේ ගැබ් වූ රමණීය අරුත් වින්දනාත්මක පසුබිමක ගැඹුරින් රසවිඳින්නා ඉසිසුම් වින්දන ශක්තියකින් හෙබි පරමෝත්කෘෂ්ට තත්ත්වයට පිළිපන් රසයෙන් හා වින්දන ශක්‍යතාවෙන් කුල්මත් වූ රසිකයා වන්නේ ය. ඔහු අන් කවරෙක් නොව විචාරකයා ය.

 දේශීය හා විදේශීය සාහිත්‍ය කෘති නිරතුරු පරිශීලනයෙන් සිය විචාරාත්මක ඥානය හා වින්දනාත්මක ශක්‍යතා මුවහත් කරගෙන කාව්‍යකරණයේ මෙන්ම රස වින්දනාත්මක විමර්ශනයේ යෙදෙන ටියුඩර් ‘අත් පසුර’ නමැති අපූරු වින්දනාත්මක විමර්ශනය සිදු කර ඇත. ඔහු අනුගත වින්දනාත්මක විමර්ශනය අපූර්වත්වයකින් යුක්තය. විමර්ශන කාර්යය ද හැම කෙනෙකුටම නිසි ලෙස ඉටු කළ හැක්කක් නොවේ. ඒ සඳහා ද වාසනා ගුණයෙන් පිරිපුන් ප‍්‍රතිභාවක් තිබිය යුතු ය. ‘ප‍්‍රතිභා – අපූරු වස්තු නිර්මාණ ක්ෂමා ප‍්‍රඥා’ යනුවෙන් ප‍්‍රතිභාව නම් අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ ඥානයයි. කවියාට මෙන් ම රසිකයාට – විචාරකයාට ද මේ නුවණැස අනිවාර්යෙන් තිබිය යුතුයx කවියේ ගැබ්වූ අර්ථ හා රස නිසි ලෙස – යථා පරිදි උකහා ගැනීමට විචාර කාර්යයේ යෙදෙන හැමකෙනෙකුටම කළ නොහැකියx මේ සඳහා මෙ කියන ප‍්‍රතිභාව හෙවත් කාව්‍යාර්ථ හා රසභාව යථානුරූපී ලෙස උකහා ගැනීමේ ප‍්‍රඥාව තිබිය යුතුමය’ පාඨකයාට – කාව්‍ය රස වින්දනයට හුරුපුරුදු නොවූ රසිකයනට කාව්‍යාර්ථ හා රසය උකහා ගන්නේ කෙසේද යනු නිදර්ශනාශ‍්‍රයෙන් පෙන්වා දීමට ටියුඩර් දරා ඇති ප‍්‍රයත්නය සැබවින්ම, ඔහුගේ වින්දන චාතූර්ය හා ආනන්දනීය හැඟීම් කෙබඳුදැයි සක්සුදක් සේ පෙන්වා දීමක් ලෙස සැලකිය හැකිය.

 සැබවින්ම මම ටියුඩර්ගේ මේ අත් පසුර නම් වින්දනාත්මක විචාරය පඨනයෙන් නොමඳ තෘප්තියක් මෙන් ම ආස්වාදයක් ලදිමි. මෙබඳු කෘතියක් කියවීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඔහුගේ වින්දනාත්මක විචාරය ආනන්දනීය මෙන් ම ආස්වාදනීය වී ඇත්තේ උපයුක්ත විචාරාත්මක බස් වහරත්, ළගන්නාසුලූ සුනම්‍ය පද සංඝටනයත් භාවපූර්ණ ගුණයන් හේතු කොටගෙනය.

 ප‍්‍රවීණයන් කිහිප දෙනකු වූ ජී. බී. සේනානායක, විමල් දිසානායක, දයාසේන ගුණසිංහ, මොනිකා රුවන් පතිරණ, බුද්ධදාස ගලප්පත්ති, ලක්ශාන්ත අතුකෝරාළ යන කවි කිවිඳියන්ගේ කාව්‍ය රචනා ආත්මීය ලෙස රස විඳ ඇති ටියුඩර් ඔවුන්ගේ කාව්‍ය සංග‍්‍රහවලින් තෝරාගත් එක් කාව්‍ය නිර්මාණයක් බැගින් අපූරු වින්දනාත්මත විමර්ශනයට හසු කරයි’ එකී රචනා මෙන් ම ආධුනික හා ආධුනිකත්වයෙන් ඈත් වූ තවත් කවි කිවිඳියන් විසි හතර දෙනෙකුගේ තෝරා ගත් කාව්‍ය රචනාවල වින්දනාත්මක හා රසාත්මක ගුණාංගවලින් සමලංකෘත වූත්, කලාත්මක ලක්ෂණවලින් විභූෂණයවූත්, අපූර්වත්වයෙන් හා අව්‍යාජත්වයෙන් වර්ණවත්වූත්, විවරණය ඉදිරිපත් කොට ඇත්තේ රසික නෙත් සිත් එක් පැහැර ඇද ගන්නා අයුරිනිx වින්දනාත්මක විචාරය කලාත්මක රචනයක් ලෙස රස භාවපූර්ණ ගුණයෙන් යුක්තවීම ආධුනික පාඨකයන් විස්මයට පත්කරලනසුලූ ශක්‍යතාවෙන් පිරිපුන් යx ටියුඩර්ගේ විචාර ප‍්‍රතිභාව හඳුනා ගැනීමට දයාසේන ගුණසිංහගේ ‘දෑසේ නිල් පැහැය’ කව් පෙළ අරබයා සිදු කරන මේ විමර්ශනයෙන් පැහැදිලි වේ.

 ඇයගේ දෑසෙහි නිල් පැහැය සිඳී ගියේ සිය හිමියා වෙනුවෙන් ගත් වෙහෙස නිසාම ය. ඔහු වෙනුවෙන් ළිප තබන බත ඉදෙනුයේ මහත් සතුටිනි. සිනාසෙමිනි. ඒ හඬට කන් දී ගෙන, පිඹිමින්, ළිප ගිනි මොළවන කල්හි නොදැනීම, කෙමෙන් දෑසේ නිල් පැහැය දැවී ගිය බව ඇය පවසන්නී යx ඇයගෙන් මේ විහි දී යන්නේ ඔහු කෙරෙහි වූ අතිශය සංවේදී වූ පේ‍්‍රමය නොවන්නේ ද?

 ”යළිදු ඇය කියන්නී, සිය මෙහෙවර නිම කොට බොහෝ ?වී, දිවි ගණනාවක් ගෙවෙන තුරු මග බලමින් සිටියදී දෑස නිල අඳුරට දිය වී ගිය බව ය. ඈ පෙරුම් පුරමින් මඟ බලා සිටින්නේ ඇගේ හිරු එන තුරු ය; ඇගේ හිරු ඔහු යx’’ (9 පිට)

 කවිය නිසි ලෙස තේරුම් ගෙන එහි අරුත් පැහැදිලි නිවැරැදි බස් වහරකින් තර්කානුකූලව අනවශ්‍ය හෑලි විවරණවලින් බැහැරව ඉදිරිපත් කිරීමට ටියුඩර් පෙලඹෙයි. ඔහු අවශ්‍යම සංසිද්ධි විස්තාරණ රීතියෙන් බැහැර වී රූපණය කොට ඇති අයුරු රසික ආකර්ෂණයට තුඩු දෙයි. කවියට අනුරූපී කව්බසෙන් විචිත‍්‍ර වූ රචනා රීතියක් ඔහු සතු ය. මේ ලේඛන සමුච්චය වින්දනාත්මක විචාර ලෙස හඳුන්වා දෙනු වෙනුවට වින්දනාත්මක නිර්මාණ ලෙස හැඳින්වීමේ වරදක් නැතx මේ විමර්ශන, නිර්මාණ තරම්ම රසවත් ය; අර්ථපූර්ණය; රසභාව පූර්ණය. විචාත‍්‍රාත්මක හැඟීම් ජනන ශක්‍යතාවෙන් යුක්ත යx සෞකුමාර්ය වර්ණයෙන් දිදුලයි.

 කාව්‍ය විචාරයේදී අනුගත ක‍්‍රමවේදය මෙන්ම ක‍්‍රමෝපායන් යථානුරූපී ලෙස හඳුනා ගෙන කාව්‍ය ක‍්‍රමෝපක‍්‍රම උචිතානුචිත විවේක බුද්ධියෙන් යුතුව භාවිතයෙහි කුශලතාවක් ටියුඩර් ප‍්‍රකට කරයි. කවියාගේ අරමුණ කුමක් ද? එම අරමුණ සඵල කර ගැනීමට කවියා අනුගත ක‍්‍රමෝපක‍්‍රම කවරේ ද? කවියාගේ අභිප‍්‍රාය සාර්ථක වූයේ ද? හේතු යුක්ති සහිත ව ඉදිරිපත් කිරීමට ටියුඩර් ප‍්‍රකට කරන විවේක බුද්ධිය ප‍්‍රශස්ත ය. මේ බැව් සුහර්ෂිණී ධර්මරත්න කිවිඳියගේ ‘ගුරුතරුව’ කව් පෙළ අරබයා සිදු කරන විමර්ශනයෙන් පැහැදිලි වේ.

 වසර ගණනාවකට පසු ඇයට හමුවන ඇගේ සරසවි ඇදුරුවරයකු නිමිති කොට ගෙන පබඳින ලද මෙම පැදි පෙළ තුළින් ආසියාතික සංස්කෘතියෙහි පවතින ගුරු ගෝල සබඳතාවය හෘදයාංගම ව එමෙන් ම භක්ති ප‍්‍රණාචිතව විවරණය කිරීම කිවිඳියගේ අරමුණ වී තිබේ.

 සැබෑ ගුරුවරයකු වූ කලී ශිෂ්‍යයකුගේ අනාගත දිවි මං තලාවට ඉමහත් බලපෑම් කරන්නෙකිx සිප් සතර ලබාදීම යනු විෂයබද්ධ දැනුම් සමුදායයක් ලබාදීම පමණක් ම නොවේ. යහපත් ගතිගුණ, යහපත් හැසිරීම ඇතුළු පැණසර මානවකයකුගේ බොහෝ පෞරුෂ ලක්ෂණ සැකසෙන්නේ සැබෑ ගුරුවරයෙකුගේ සෙවණිනිx කිවිඳිය මෙම පද්‍යය ආරම්භ කරනුයේ එබඳු වූ සිය ගුරුවරයාගේ රූප කාය වර්ණනයට ලක් කරමිනි.’’ (41, 42 පිටු)

 පද්‍ය රචනයක් විමසුමට හසුකිරීමේ මඟ මෙබඳු යැයි ආධුනිකයනට හැෙඟන අයුරින් ටියුඩර් එම කාර්යය සිදු කිරීමට කුශලතා පූර්ණ වේx මෙලෙස විමර්ශනය කොට අවසානයේ දී එහි සාධනීය මෙන් ම අසාධනීය ලක්ෂණ පෙන්වා දීමට ද ඔහු අමතක නොකරයි. මෙය මෙබඳු විචාර ග‍්‍රන්ථයක් රචනා කරන විචාරකයකුගෙන් සිදුවිය යුතු මෙහෙයකිx ටියුඩර් එය නොපිරිහෙලා ඉටු කර ඇතx විචාරකයකු වශයෙන් ඔහුගේ ඇති විශේෂත්වය නම් විචාරයට හසුකරන හැම නිර්මාණයකම ගැබ්වන වැදගත් මෙන් ම අගනා නිර්මාණාත්මක කලාත්මක ගුණාංගය කවරේදැයි පෙන්වා දීමට ටියුඩර් කුශලතා සම්පන්න වීමයx මේ නිසා ‘අත් පසුර’ කාව්‍ය රසාස්වාදයට මෙන් ම විචාරයට ද ප‍්‍රවිෂ්ටවන ප‍්‍රවීණ හා ආධුනික සාහිත්‍යකාමීන්ට එක සේ වැදගත් මෙන් ම ප‍්‍රයෝජනවත් වන අත් පසුරක් ම වන්නේ ය.

 මෙහි ආරියපාල රත්නායක, ගයනා විජයවර්ධන, ඊබට් ඇම්x පල්ලියගුරුගේ, පේ‍්‍රමචන්ද්‍ර රූපසිංහ, නිහාල් ගුණවර්ධන, නිරූපා රුද්‍රිගු, අජිත් කල්‍යාණ අමරසිංහ, ජානකී වසන්තා ලේකම්ගේ, සංද්වනී සජීවිකා විජේතුංග, ශ‍්‍රිය කුමාරසිරි විපුලගුණ, ප‍්‍රදීප් සාරංග කුමාර, රුවන් චන්ද්‍ර කුමාර, ධර්මසිරි නාගොල්ලාගොඩ, රුවන් සුදස්සන ප‍්‍රනාන්දු, ඉසුරු චාමර සෝමවීර, නිරූපා රුද්‍රිගු, සුදත් ගාමිණී බණ්ඩාර, රෝහිත භාෂණ අබේවර්ධන, ශාන්ති දිසානායක, කේx එම. අයි. ස්වර්ණසිංහ යන කවි කිවිඳියන්ගේ තෝරා ගත් පද්‍ය නිර්මාණ අරබයාද සාරගර්භ වින්දනාත්මක විමර්ශන ඉදිරිපත් කර ඇත.

 ටියුඩර් අමරසේනගේ මේ කෘතියේ තිබෙන විශේෂත්වය නම් සහෘදයකු ලෙස ඒ ඒ කවීන්ගේ නිර්මාණවලින් විඳි වින්දනය අසිරිමත්, ළගන්නාසුලූ විචාර බසකින් ඒ ඒ කවිවල සාධනීය හා අසාධනීය ලක්ෂණ ඉස්මතු කරමින් ඉදිරිපත් කිරීමය. ප‍්‍රවීණ කවීන්ගේ නිර්මාණ සමග ආධුනික කවීන් වැඩි පිරිසකගේ ශක්‍යතා මෙලෙස ඇගැයීමට ලක් කිරීම පැසසුම් කටයුතු ව්‍යායාමයක් ලෙස දැක්විය අගය කළ හැකි ය.

‘අත් පසුර’  කාව්‍ය රසාස්වාදයට මෙන්ම විචාරයට ද  අත් පසුරක්

 * මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
 ප‍්‍රධාන කර්තෘ
 සිංහල විශ්වකෝෂය

advertistmentadvertistment
advertistmentadvertistment