අතිකාලත් නවත්වයි: – මැතිවරණ වැඩට යෙදවූ නිලධාරීහු යළි පරණ වැඩට

120

තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නිමයමක් නැතිව කල් දැමීමත් සමඟ මැතිවරණ රාජකාරි වෙනුවෙන් කටයුතු කළ නිලධාරීන්ට අද (20 දා) සිට එම කටයුතුවලින් ඉවත් වී සාමාන්‍ය පරිදි රාජකාරිවල නිතර වන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම්දීමක් සිදුකර ඇත.

රත්නායක මහතා සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ සියලුම දිස්ත්‍රික් හා සහකාර තේරීම් භාර නිලධාරීන්ට ලිපියක් යොමුකරමින් මේ බව ප්‍රකාශ කර තිබේ. මැතිවරණ රාජකාරි වෙනුවෙන් ගෙවනු ලැබූ අතිකාල දීමනා නවතා දමන ලෙස ද ඉල්ලා ඇත.

ප්‍රධාන කාර්යාල ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල සති අන්ත හා රජයේ නිවාඩු දින වසා දැමීමට කටයුතු කළ යුතු බව ද දැනුම් දී ඇත. කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සති අන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ.

දැනට යොදවා ඇති අනියම් සහායකයන් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය පෙරේදා (18 දා) දින සිට කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළ යුතුය. කාර්ය මණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබා ගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බව ද ලිපියේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්‍ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්‍ෂාව පිළිබඳව ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත බවත් එතෙක් පොලිස් ආරක්‍ෂාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ලිපියෙන් දැනුම් දී ඇත.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අදාළව සියලු කටයුතු අවසන් කර තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට පමණක් ඉතිරිව ඇති නිසා තවදුරටත් එම නිලධාරීන් තබාගෙන ගෙවීමට සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් බැවින් මෙම තීරණය ගත් බව ද ‘දිවයින’ට රත්නායක මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment