අතීතය වැළලිය නොහැක… අමන්දා ලොවට කියන කථාව

235

2022 වසරේ ජාත්‍යන්තර ත්‍රාසජනක ලේඛකයන්ගේ සංගමය (ThrillerFest) විසින් “හොඳම පළමු නවකථාවට” (‘Best First Novel’) ප්‍රදානය කරන ලද සම්මානය දිනා ගැනීමට අමන්දා ජයතිස්ස නැමැති ශ්‍රී ලාංකික ලේඛිකාව සමත් වූවාය. ඇය විසින් රචිත “මයි ස්වීට් ගර්ල්” කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ හැදුන වැඩුන ඇය මිල්ස් විද්‍යාලයෙන් වරලත් ගණකාධිකාරී උපාධිය ලබා ආයතනික පුහුණුකාරියක ලෙසින් සේවය ආරම්භ කළාය.

දැනට එක්සත් රාජධානියේ ජීවත් වෙන අමන්දා ලේඛිකාවක් මෙන්ම ව්‍යවසායිකාවක් ලෙසින්ද කටයුතු කරන්නීය. ආයතනික අංශයේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් අවධානය යොමු කරන Sterling Language Solutions සමාගම සහ රක්ෂණ වේදිකාවක් ලෙසින් කටයුතු කරන Save Your Monkey සමාගම ඇය ගේ දායකත්වයෙන් ආරම්භ කරන ලදී.

ඇගේ සැමියා චතුර ජයතිස්ස ව්‍යවසායකයකු ලෙසින් කටයුතු කරන අතර ඔවුන් 2012 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි රසකැවිලි The Brick Lane Cookie Company සමාගම ආරම්භ කරන ලදී.

■ ThrillerFest සංගමය යනු ඔබට නුහුරු සංවිධානයක් විය හැකියි.

ත්‍රාසජනක ග්‍රන්ථ රචකයන්ගේ සංගමයේ අරමුණ වී තිබෙන්නේ එහි ක්‍රියාකාරී සාමාජිකයන් මගින් නව්‍ය හා උසස් නිර්මාණ සමාජගත කිරීමයි. ත්‍රාසජනක ග්‍රන්ථ නිර්මාණයට කැමැත්තක් දක්වන ලේඛකයන් විසින් මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්ය වේ.

ලෝකය පුරා රටවල් 49 ක සාමජිකත්වය 5000 ඉක්මවා ඇති මෙම සංවිධානය විසින් වාර්ෂිකව මිලියන 3.2 ක් ඉක්ම වූ ග්‍රන්ථ අලෙවිකරණයක් සිදු කරනු ලැබේ. ඔවුන් ගේ අරමුණ වන්නේ පොත් ප්‍රකාශකයන්ට, කර්තෘවරුන්ට ග්‍රන්ථකරණයට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් කියවන සමාජයක් නිර්මාණය කිරීමයි.

2022 වසරේ ජූනි 04 වැනි දින මෙම සංවිධානයේ 17 වැනි සම්මාන උළෙල පවත්වන ලදී. 2022 වසර වෙනුවෙන් ThrillerMasters වූ ඇගයීමෙන් Frederick Forsyth සහ Diana Gabaldon පිදුම් ලැබූහ. හොඳම දෘඪ කවර (hardcover) නවකතාව වෙනුවෙන් වූ සම්මානය සඳහා Razorblade Tears විසින් රචිත Razorblade Tears කෘතිය නම් වී තිබුණි. හොඳම කඩදාසි නවකථාව වෙනුවෙන් වූ සම්මානය ජෙස් ලෞරිගේ Bloodline කෘතියට හිමිවිය. හොඳම කෙටිකථාව වෙනුවෙන් වූ ඇගයුම් සම්මානය ස්කොට් ලෝර් සෑන්ඩර්ස් ගේ The Lemonade Stand කෘතියට හිමි විය. හොඳම විද්‍යුත් නවකතා (e-book) පිටපතට ඊ. ජේ ෆින්ඩ්රොෆ්ගේ Blood Parish කෘතිය වෙනුවෙන් සහ යෞවන නවකතා සම්මානය කර්ට්නි සමර්ස්ගේ The Project කෘතිය වෙනුවෙන් හිමි විය.

■ My Sweet Girl

මෙම නවකථාවෙන් ඇය අතීතය සහ වර්තමානය අතර කාලරාමු දෙකක් එකට සම්බන්ධ කරමින් ‘පලෝමා’ නැමැති 30 හැවිදිරි තරුණියකගේ මනෝභාවයන් අපූර්ව අන්දමින් චිත්‍රනය කිරීමට සමත් වූවාය. පලෝමා යනු ඇමෙරිකානු අඹු සැමියන් විසින් දරුකමට හදා ගත් ශ්‍රී ලංකාවේ අනාථ නිවාසයකින් ලබා ගත් දියණියයි. ඔවුන් හදාවඩා ගත් නමුදු මෙම දියණිය ඔවුන් ගේම ලෙයින් මසින් උපන් දරුවකු මෙන් සෙනහසින් හදා වඩා ගත්හ.

නමුත් තමාගේ සැබෑ මව්පියන් ඇමෙරිකානු ධනවතුන් බැව් දැනගත් තැන පටන් පලෝමා වෙනස් වූවාය. මව්පියන්ගෙන් ලැබෙන සෙනහස ප්‍රතික්ෂෙප කළාය. ඒ වෙනුවට තමාගේ ස්වාධීන ජීවිතයක් ගොඩනඟාගත් ඇය තමාගේ සැන් ප්‍රැන්සිස්කෝහි පිහිටි නිවස ඉන්දියාවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණි “අරුන්” නැමැති තරුණයාට වාසස්ථානයක් ලෙස සිය කැමැත්තෙන්ම ලබා දුන්නාය. අරුන් පලෝමාගේ ජීවිතයේ අඳුරු පැතිකඩ දැන සිටියේය. සමහර විට ඔහු ඒ බිඳෙන සුළු තැනින් යමක් ආරම්භ කළා දැයි යන්න සැකයකි.

දිනක් හදිසියේම පලෝමා දුටවේ ලේ විලක් මැද මැරී සිටි අරූන්ගේ සිරුරයි. බියට ලත් පලෝමා එතැනින් පැන ගියා. පොලිසිය පැමිණියත් එතැන මළසිරුරක් නොවීය. මේ කථාවේ පාදක සිදුවීම එයයි. අතීතය වැළලිය නොහැක… අමන්දා සමාජයට ඉස්මතු කරවන හේතුඵල සම්බන්ධතාවය එයයි. ඒ සමග අරූන් ඇත්තටම මියගියාද…? පලෝමා ගේ ජීවිතයේ සැඟ වුණ රහස එතැනින් අවසාන වුණාද… එසේ නොවේ නම් එය තවත් සිදුවීමක ආරම්භයක් විය හැකිද…?

සම්මානය ලබා ගැනීමෙන් පසු ඇය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “මම ශ්‍රී ලංකාව නැමැති පුංචි දිවයිනෙන් පැමිණි කාන්තාවක්. මම ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණි දිනයේ පටන්ම කිසිම කෙනෙක් රසිකයෙක් ලෙසින් මා ගැන ඇගයීමක් ලබා දුන්නේ නැහැ. මේ වෙලාවේ මගේ සුන්දර මව්බිම ඉතා අසීරු කාලයක් ගෙවමින් සිටී. එවැනි රටකින් තේමාවක් ලෙසින් එන මෙම කෘතිය සම්මානයක් වෙනුවෙන් තෝරා ගැනීම මට ලෝකයක් ලැබුණා වගෙයි..”

ඒ වගේම ඇය ත්‍රාසජනක ප්‍රබන්ධ “ගුස්බම්ප්ස්” (Goosebumps series) කථා මාලවේ R. L. Stine වෙනුවෙනුත් ස්තුතිය පිරිනැමීමට මෙය අවස්ථාව කර ගත්තාය. සැබැවින්ම මට ඔහු හමුවීමට අවස්ථාවක් ලැබීම තරම් සතුටක් තවත් නැහැ…

මේ ගැන අදහස් ඉදිරිපත් කරමින් ස්ටයින් සඳහන් කළේ සුබ පැතුම් අමන්දා… මම ඔබව හමුවීමට බෙහෙවින් ප්‍රිය කළා..

මේ අවස්ථාවේදී අමන්දා විසින් ඇගේ සම නියෝජිත මෙලිස්සා ටැබැන්කෝ සහ සංස්කාරක ජෙන් මෝර්බි වෙත සිය ස්තුතිය පුද කරමින් කියා සිටියේ “ඔබ දෙදෙනා මගේ ප්‍රබන්ධය විශ්වාස නොකළා නම් මේ කිසිවක් කරන්න බැහැ. ඒ නිසා මේ සම්මානය මට වඩා හිමි විය යුත්තේ ඔබටයි. “ත්‍රිලර්ෆෙස්” “සංවිධානයේ සුන්දර කණ්ඩායම කිම්බර්ලි හෝච්, ජෙෆ් අයර්ස් මගේ අපූරු සිදුවීම අගය කිරීම ගැන ස්තුතියි. මෙය මගේ පළමු ජාත්‍යන්තර ලේඛක සම්මන්ත්‍රණයයි. මේ හැම මිනිත්තුවක්ම මම අගය කරනවා. මට ධෛර්ය ලබා දුන්, ආධාර කළ සහෝදර ලේඛකයන්ටත් මගේ සහකරු චතුරටත් ස්තුතියි. නම් කිරීමට බොහෝ දෙනෙක් සිටිනවා. ඔබ හැම දෙනාම මගේ හදවතේ සිටිති. මගේ හදවත දැන් සතුටින් පිරී තිබේ. එය පුපුරා යතැයි බියක් මට තිබෙනවා…. ඇය සම්මානයේ සතුට වචනවලට නැඟුවේ ඒ අන්දමින්ය.

ඇගේ දෙවැනි නවකථාව You’re Invited අගෝස්තු මාසයේදී නිකතු් වීමට නියමිතය. අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ලෝකයට ප්‍රදර්ශනය කළ අමන්දා ජයතිස්ස… ඔබට අපේ සුබපැතුම්…

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment