අතීත ඉසිවර පරම්පරාවක යට්ටෝගොඩ අභිමානය

407

සිංහල වෙදකම නැතහොත් හෙළ වෙදකම යනු අපේ මුතුන් මිත්තන්ගේ සිට පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙමින් පවතින දේශීය වෛද්‍ය ක්‍රමයයි. පරම්පරා ලෙස ගත්විට හෙළ වෙදකම ද අංශ කිහිපයකට වෙන්වනු ඇත. එනම් කැඩුම් බිඳුම්, විෂ වෙදකම, තුවාල පිළිස්සුම්, ගෙඩි වෙදකම යනුවෙන් ඒවා බෙදා වෙන්කළ හැකිය.

එවන් වූ වෙද පරම්පරාවකට හිමිකම් කියන යට්ටෝගොඩ වෙද පරපුරේ ගෙඩි වන පිළිකා මෙන්ම සර්වාංග රෝග පිළිබඳ වෛද්‍ය විල්බට් වෛද්‍යරත්න මහතා තම වෙද පරපුරේ අභිමානය පිළිබඳව අපත් සමග බොහෝ තොරතුරු කියන්නට වුණා.

මගේ පියා සූටින් වෛද්‍යරත්න ගෙන් තමයි මම මේ ආභාසය ලැබුණේ. පුංචි කාලේ ඉඳල නිතරම දකින්න ලැබුණේ මිනිස්සුන්ගේ ඇඟේ විවිධ ස්ථානවල හට ගන්නා ගෙඩි පලන හැටිත් විශාල තුවාලවලට බෙහෙත් දාන හැටිත් තමයි. ඒ ඇරුණම පිළිකා රෝගවලින් පීඩාවට පත්වෙච්ච අයට තාත්ත වෙදකම් කළා.

අද වගේ එදා පිළිකාව කියන රෝගී තත්ත්වය මිනිස් ජීවිත මේ තරම් පීඩාවට පත්කළේ නෑ. අන්න ඒ නිසා මට විශේෂයක් කරලා තාත්ත ගෙන් ඉගෙන ගන්න සිද්ධ වුණේ ගෙඩි පලන එක වගේම පුච්චන එක වගේ ප්‍රතිකාර සේවාවන්ය.

අතීත ඉසිවර පරම්පරාවක යට්ටෝගොඩ අභිමානය
හදිසි අනතුරකින් ආබාධ වූ තරුණයකුට ප්‍රතිකාර කරන අයුරු

ගමේ හැම ගෙදරකම එදිනෙදා තම තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරන එළවළු පලතුරු ටික තිබුණා. ඒ වගේම තමයි වී ටික. අන්න ඒ හේතුව නිසා කිසිම කෙනෙකුගේ බත් පිඟානට වස විෂ එකතු වුණේ නෑ. ඒත් අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වස විස නැත්නම් අද අපේ මිනිස්සුන්ට කෑමක් නැහැ. ඒ තරමට ම ගස්ලබු ගෙඩියට කෙසෙල් ඈවරියට බෙහෙත් ගහලා.

ඒ විදියට අපි ගන්න විෂ සහිත ආහාර රටාව නිසා තමයි වැඩිපුරම බොහෝ දෙනා පිළිකා තත්ත්වයන්ට වගේම තවත් බොහොමයක් ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නේ.

ඊළඟට අද වැඩි හරියක් ඇඳුම් පැළඳුම් නිර්මාණය වෙලා තියෙන්නේ සිල්ක් නයිලොන් වගේ අපේ සමට බොහෝ අහිතකර රෙදිවලින්. ඍජුව නොවුණත් ඒ තත්ත්වයෙන් යම් බලපෑමක් තියෙනව අපිව රෝගීන් බවට පත්කරන්න.

එදා අමුඩයක් බැඳලා ජටාවක් බැඳල කුඹුරට බහින කෙනාගේ මුළු ශරීරයෙන්ම දහඩිය පිටවුණා. පැය ගාණක් ඒ විදියට කුඹුරේ වත්ත පිටියේ මහන්සිවෙලා ආපු කෙනා ආහාරය විදියට ගත්තෙ කිරිබත්. කිරිබත කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායී ආහාරයක්. අන්න ඒ විදියට ඇඳුම පැලඳුම ආහාර පාන ව්‍යායාමය එකකට එකක් ගැළපුන තැන බොහොම නිරෝගී පරපුරක් බිහිවුණා.

අද සමාජයේ පැතිර පවතින්නා වූ විෂ සහිත ආහාර නිසා බොහෝ දෙනකුගේ ශරීරය තුළ ප්‍රතිශක්ති මට්ටම අඩු වශයෙන් පැවැතීම සියලු රෝගී තත්ත්වයන් ශරීරය පුරා ව්‍යාප්ත වීමට හේතු වෙනවා.

තාත්ත ගෙන් සීයා ගෙන් ඒ ඇවැතුම් පැවැතුම් ක්‍රම වගේම ගෙඩි වෙදකම කොතරම් දුරට ඉගෙනගෙන හිටියත් කොළඹ පැවැත්වුණ ශාස්ත්‍රවේදී වගේම සර්වාංග රෝග පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා වැඩිදුර ඉගෙන ගත්තා.

ඒ කාලේ අද වගේ නෙමෙයි ආයුර්වේද අංශ සැවො ම එකවර සමත් විය යුතුයි. මම ඒ හැම අංශයම ඉහළින් සමත් වුණා. අද වෙනකොට ඕනෑම රෝගී තත්ත්වයක ඉන්න ලෙඩෙක් මම වෙදකම් කරන මේ කාමරේ උළුවස්ස පන්නද්දීත් මට කියන්න පුළුවන් අදාළ රෝගියා මොන තත්ත්වයේ ද ඉන්නේ කියලා.

සර්වාංග වෙදකම කළාට ගෙඩිවන පිළිකාවලට වගේම අංශ භාග රෝගය සුව කිරීමේ විශේෂ හැකියාවක් මා තුළ පවතිනවා. මොළයේ ලේ කැටි හිරවෙලා තියෙන රෝගීන් දහස් ගණනක් මගේ මේ අත් දෙකෙන් සුවපත් කර තිබෙනවා.

බොහෝ වේලාවට මම අංශ භාග රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නෙ නේවාසිකව තබාගෙන. මොකද එවැනි රෝගීන්ට වෙලාවට බෙහෙත් කසාය හදල බොන්න දෙන්න ඕන. ඒ වගේම අත්පාවල නහර ප්‍රකෘති තත්ත්වයට ගන්න නම් නිසි ක්‍රමවේදයට අනුව තෙල් ගාල නිවැරදිව ඖෂධ පොට්ටනි භාවිත කරල තවන්න ඕන. දුරින් ඉඳගෙන එවැනි රෝගියකුට ප්‍රතිකාර කරන්න අමාරුයි. අන්න ඒ නිසා මම එවැනි අය සඳහා රෝගීන් සුවපත් කිරීමේ චේතනාවෙන්ම ලබාගත් බිම් කඩක වාට්ටු සංකීර්ණයක් හදල එහි නතර කරගෙන තමයි එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ.

ඒ වගේම තමයි මොන වෙද මහත්තය සිංහල වෙදකම කළත් රෝගියකුට අවශ්‍ය තෙල් බෙහෙත් ටික හරියට ම තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔවුන්ට ඉක්මන් නිරෝගී සුවය අත්කර දෙන්න අමාරුයි. එක වෛද්‍යවරයෙක් රෝගියකුට කරන විශාල අසාධාරණයක් විදියටයි මම දකින්නේ.

ඒ තත්ත්වය නිසා තමයි මම ගෙදර තියෙන ලොරිය අරගෙන ගිහින් අවශ්‍ය කරන ඖෂධ වර්ග එකතුකරගෙන එන්නේ.

අතීත ඉසිවර පරම්පරාවක යට්ටෝගොඩ අභිමානය

අපි රෝගීන්ට උසස්ම තත්ත්වයේ තෙල් වර්ග තමයි ලබාදෙන්නේ. එදා අපේ අත්තල, මුත්තල පාව්චිචි කරපු පුස්කොළ පොත්වල තියෙන ගුලි වර්ග, චූර්ණ, තෙල් වර්ග අපි හදන්නේ. ඒ සඳහා අපිට මූලික වශයෙන් තල තෙල්, කොහොඹ තෙල් මී තෙල් ඇතුළු තෙල් වර්ග පහක් අවශ්‍ය වෙනවා. කැකිරාවෙ සෙක්කුපිටියෙන් තමයි පිරිසිදුම තල තෙල් ලබාගන්නේ. ඒ විදියට ගේන තෙල් වර්ගවලට තවත් බෙහෙත් ඖෂධ වර්ග යොදා ළිපේ තියල මිශ්‍ර කරල තමයි ප්‍රයෝජනයට ගන්නේ. මේ වෙද්දී අපේ කැඩුම් බිඳුම් තෙලට තියෙන ඉල්ලුම එන්න එන්නම වැඩි වෙනවා. ඒ තෙලෙන් වෙන්නෙ බිඳුන අස්ථි පෑස්සෙන එක.

මොළයේ ලේ කැටි හිරවීම අද වෙනකොට බොහොම ඉතාමත් සුලබ රෝගී තත්ත්වයක්. එහෙම වෙලා නහරයක් පිපිරුණොත් ඒ තත්ත්වයෙන් අදාළ රෝගියා ගොඩගන්න එක ගැන දෙපාරක් හිතන්න වෙනවා.

හෘදයාබාධ තත්ත්වයත් එහෙමයි. කුමන රෝගී තත්ත්වයක් සඳහා වුවද මූලික ලක්‍ෂණ පෙන්නුම් කළ අවස්ථාවේදී ම අපේ වෙදමැඳුරට ආවොත් අදාළ රෝගියාගේ දැනට පවතින තත්ත්වය මට ඔහුගේ හෝ ඇයගේ ඇඟට අතක් නොතියා කියන්න තරම් හැකියාවක් පවතිනවා. ඒ අවුරුදු හය හතේ ඉඳල තාත්ත සීය රෝගීන් හා ගැටෙමින් අපි ඉදිරියේ දක්වපු වෙදකම පිළිබඳ දක්‍ෂතා දැකලා තමයි.

ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට අනුව එවැනි ආබාධ සහිත පුද්ගලයන්ට එන්නත් කිරීම් මගින් සහනය ලබාදෙනවා වගේම අපි ළඟ තියෙනවා. මහ දලු අනුපාත ඇතුළු කසාය වර්ග බොහොමයක් ඒ කිසිම දෙයක් හිතුමතේ දීල පැත්තකට වෙන්න පුළුවන් කමක් නෑ. රෝගියාගේ තත්ත්වය බොහොම ඉවසීමෙන් පරීක්‍ෂා කරමින් ටිකෙන් ටික තමයි අදාළ රෝගී තත්ත්වය සුවපත් කළ යුත්තේ.

මේ වෙද්දී හෘද රෝගීන් සඳහා විශේෂ ඖෂධයක් අපේ වෙද මැඳුරෙන් සකස් කරල තියෙනවා. එහි විශේෂය තමයි එය හදන්නෙ වතුර නැතුව. මේ හැම තෙලක් බෙහෙතක් වගේම ගුලියක් කල්කයක් අරිෂ්ටයක් අපි හදන්නෙ බොහොම සද්භාවයෙන්. අපිම ගිහින් අදාළ පළාත්වලින් ඖෂධ ශාකවල කොළ, ගෙඩි, පොතු, කඳ, මුල්, වැනි ප්‍රධාන කොටස්වල එකතුවෙන්.

එහෙම සොයාගෙන එන ඖෂධ වර්ග ඉපැරණි පුස්කොළ පොත්වල සඳහන් නිසි ක්‍රමවේදයන්ට අනුව නැකැත් බලා අදාළ චාරිත්‍රවලට මුල්තැන දීල සියලු දෙනා සුවපත් වේවා! කියන අධිෂ්ඨානය පෙරදැරිව තමයි ඖෂධ බවට පත් කරන්නේ. මොකද රෝගියෙක් සුවපත් වෙන්න වෙදකම වගේම හෙදකමත් අත්‍යවශ්‍යම දෙයක්.

ධම්මික හේවාවසම්
ඡායාරූපය – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment