අතුරුදන් පේරාදෙණිය සිසුවා සොයන්න පොලිස් කණ්ඩායම් දෙකක්

236

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී 02 වැනිදා සිට අතුරුදන් වූ ශිෂ්‍යයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම ශිෂ්‍යාගේ අතුරුදන්වීමත් සමගම පසුගිය මාසයක පමණ කාලසීමාවක් තුළදී මෙසේ අතුරුදන් වූ තුන්වැන්නා මොහු බව පොලිසිය පවසයි.

මීට පෙර අතුරුදන් වූ සරසවි ශිෂ්‍යයන් දෙදෙනා මහවැලි ගඟට පැන දිවි හානි කරගෙන තිබූ අතර ඔවුන්ගේ සිරුරු පසුව හමුවිය. ඉකුත් 02 වැනිදා සිට අතුරුදන්ව ඇත්තේ කඩවත ගණේමුල්ල පාරේ පදිංචි 25 හැවිරිදි පුලස්ති ප්‍රමුදිත පෙරේරා නමැති ශිෂ්‍යයෙකි.

අතුරුදන්වීමට පෙර මෙම ශිෂයා විසින් ලිපියක් ලියා තබා ඇති අතර එහි සඳහන්ව තිබුණේ තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන නිසා එම තත්ත්වයෙන් මිදීමට ටික කාලයකට යන බවයි.

නමුත් අනතුරක් නොමැති ස්ථානයක ආරක්‍ෂා සහිතව සිටින බව ද මොහු එම ලිපියේ සඳහන් කර ඇත.

ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන තමන් දැඩි පීඩනයක පසුවන බව ද සරසවි ශිෂ්‍යයා වැඩිදුරටත් එම ලිපියේ ලියා තිබේ. කෙසේ වෙතත් අතුරුදන්ව ඇති ශිෂ්‍යයා සොයාගැනීමට පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යන බව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසයි.

මෙම ශිෂ්‍යයා ආගිය තැන් විශ්වවිද්‍යාලය අවට ඇති සීසීටීවී කැමරා පද්ධති නිරීක්ෂණය කර සැකකටයුතු ස්ථාන පොලිසියේ දැඩි පරික්‍ෂාවට ලක්ව ඇත. කෙසේ වෙතත් ඊයේ සවස් වනතුරුත් මෙම ශිෂ්‍යයා පිළිබඳ කිසිම තොරතුරක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබුණේ නැත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment