අතුරුදන් වූ ඉන්දීය ධීවරයාගේ මළසිරුර සොයා ගැනේ

86

ඉන්දීය ධීවර යාත‍්‍රාවක් අනතුරට ලක්වීම නිසා මුහුදට වැටී අතුරුදන් වූ ධීවරයාගේ මළසිරුර නාවික හමුදාව විසින් සොයාගෙන එම සිරුර පෙරේදා (20 දා) තෙලිප්පලෙයි රෝහල වෙත භාර දී තිබේ.

මෙසේ මියගොස් තිබුණේ එම්. රාජ්කිරන් නමැති 30 හැවිරිදි ධීවරයෙකි.

ඉන්දියාවේ කොට්ටෙයිපට්ටනම් ධීවර වරායෙන් ධීවරයන් තුන්දෙනකු සමග උතුරු මුහුදු සීමාව දෙසට පැමිණි ඉන්දීය ධීවර යාත‍්‍රාවක් කෝවිලන් ප‍්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේදී අනතුරකට ලක්වීමෙන් පසුව එක් ධීවරයකු මුහුදට වැටී අතුරුදන් වූ අතර අනෙක් ධීවරයන් දෙදෙනා නාවික හමුදාව විසින් ඒ අවස්ථාවේදීම බේරාගෙන තිබුණි.

නාවික හමුදාව විසින් බේරා ගන්නා ලද ඉන්දීය ධීවරයන් දෙදෙනා කයිට්ස් පොලිසිය වෙත භාරදීමෙන් පසුව ඔවුන් දෙදෙනාව කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා නොවැම්බර් මස 01 දා දක්වා බන්ධනාගාර ගතකොට තිබේ.

මේ අතර මියගිය ඉන්දීය ධීවරයාගේ මළසිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු හමාර වීමෙන් පසුව ඔහුගේ මළසිරුර නාවික හමුදාව විසින් ඉන්දියාව වෙත භාරදීමට නියමිතය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment