අතුරු අයවැය අනිද්දා: සහන සමග වියදම් සීමා

232

මේ වසරේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අය වැය අනිද්දා (30 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අය වැය දෙවනවර කියැවීමේ සමාරම්භක දේශනය (අයවැය කතාව) අගෝස්තු 30 වැනිදා ප. ව. 1.00 සිට ප. ව. 2.00 දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.

ඉන් පසු අයවැය දෙවනවර කියැවීමේ විවාදය අගෝස්තු 31, සැප්තැම්බර් 01 සහ 02 යන දිනවලදී පැවැත්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව නව රජයක් වශයෙන් 2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා මෙම විසර්ජන පනත් කෙටුම්පත ගිය වසරේ (2021) නොවැම්බර් මස ඉදිරිපත් කළ විසර්ජන පනතට සංශෝධනයක් වශයෙන් ඉදිරිපත් වේ.

මේ අනුව රු. බිලියන 2796.4 ක් වූ 2022 වර්ෂයේ ඇස්තමේන්තුගත අමාත්‍යාංශ සේවා වියදම නව සංශෝධනය අනුව රු. 3275.8ක් දක්වා රු. බිලියන 929.4ක් දක්වා වැඩි වී ඇත. එසේම 2022 වසරේ සේවා වියදම් සඳහා නීති මගින් ඒකාබද්ධ අරමුදලකට වැය බරක් විය යුතු බවට බලය ලබාදෙන රජයේ ඇස්තමේන්තුගත වියදම හෙවත් ණය සේවාකරණ වියදම රු. බිලියන 2623 සිට රු. බිලියන 2901ක් දක්වා වැඩි කිරීමට ද නව විසර්ජන පනතින් අවස්ථාව ලබා දී ඇත.

2022 වසරට කලින් අනුමත විසර්ජන පනත යටතේ වූ මුදල් ඒ ඒ අමාත්‍යාංශයන් හි නිශ්චිත ශීර්ෂ යටතේ දක්වා ඇති වැඩසටහන්වලට වෙන්කරන ලද මුදල් වියදම්කර අවසන් නොමැති බැවින් ඒ මුදල් ද මේ සංශෝධනය යටතේ තවදුරටත් වියදම් කිරීමට ද විසර්ජන පනතින් බලය ලබා දී ඇත.

මේ අතර ජන ජීවිතයට අදාළ යම් යම් සහන ලබාදීමට සහ රජයේ අනවශ්‍ය වියදම් සීමා කිරීමට ද මෙවර අය වැයෙන් අවධානය යොමුකර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment