අතුරු තහනම අත්හිටුවයි – රුසියන් යානයට පියාඹන්න අවසර – අතුරු තහනම භාරදීමට  රොකට් වේගයෙන් කටයුතු කරලා

705

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්. යූ. 289 අංක දරන මගී ප්‍රවාහන ගුවන් යානය රටින් පිටවීම වළක්වමින් තම අධිකරණය විසින් පසුගිය 2 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියෝග කළේය.

පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් එම නියෝගය ඒකපාර්ශ්විකව ලබාගෙන ඇත්තේ අධිකරණයට සත්‍යය සැඟවීමෙන් බවත් එලෙස ලබාගත් අතුරු තහනම් නියෝග පවා පෙත්සම්කාර පාර්ශ්වය අවභාවිත කර ඇති බවත් පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා හා වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ලසන්ත හෙට්ටිආරච්චි මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

අධිකරණය විසින් පසුගිය 2 වැනිදා නිකුත් කර තිබූ එකී අතුරු තහනම් නියෝගය රැගත් පිස්කල් නිලධාරියා සමඟ පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නීතිඥ අරුණ ද සිල්වා නමැත්තා ශ්‍රී ලංකා ගුවන් සේවයේ මෙහෙයුම් කළමනාකරුගේ කාර්යාලයට ගොස් ඇති බවත් ගුවන්තොටුපළේ අධිආරක්‍ෂක කලාපයක පිහිටි මෙහෙයුම් කළමනාකරුගේ කාර්යාලයට එලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයකු ඇතුල්වීම පවා නීති විරෝධී ක්‍රියාවක් බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඡායාරූප හා සී සී ටී වී දර්ශන ඇතුළත් සී ඩී පටයක් අධිකරණයට ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

තම අධිකරණ නියෝගය රැගත් පිස්කල් නිලධාරියා සමග පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයකු දෙවන විත්තිකාර ගුවන් මෙහෙයුම් කළමනාකරුගේ කාර්යාලයට ගොස් ඇති නම් එය ඉතා බරපතළ වන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරු හර්ෂ සේතුංග මහතා එලෙස කටයුතු කරන ලෙසට එම නීතිඥවරයාට උපදෙස් දුන්නේ දැයි පෙත්සම්කාර රක්‍ෂණ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අවින්ද රුද්‍රිගු මහතාගෙන් විමසා සිටියේය. තම අධිකරණය එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ එම පැමිණිල්ලේ පළමුවන වගඋත්තරකරුට වන බැවින් එකී වගඋත්තරකරුට එම නියෝගය සිවිල් නඩු විධාන සංග්‍රහය ගැන ප්‍රකාරව නිසි ලෙස භාරදීමක් සිදුකළේ දැයි විනිසුරුවරයා එහිදී පෙත්සම්කරුගේ නීතිඥවරයාගෙන් විමසා සිටි අතර එම වගඋත්තරකරු රුසියාවේ සිටින බැවින් එම නියෝගය ඔහුට භාරදීමට නොහැකි වූ බවත් දෙවන වගඋත්තරකරුගේ මෙහෙයුම් කාර්යාලයට ගොස් ඇත්තේ අතුරු තහනම් දැන්වීම් නොතිසි භාරදීමට බවත් ජනාධිපති නීතිඥ අවින්ද රුද්‍රිගෝ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුගේ නීතිඥවරයා තවදුරටත් අධිකරණය නොමග යැවීමට උත්සාහ කරන බවත් එදින පිස්කල් නිලධාරියා සමඟ මෙහෙයුම් කාර්යාලයට ගොස් ඇති පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ කනිෂ්ඨ නීතිඥවරයා අතුරු තහනම් දැන්වීම් නොතිසි නොව අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය දෙවන වගඋත්තරකරුට භාරදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හා පිස්කල් නිලධාරියා පෙත්සම්කාර පාර්ශ්වය සමඟ එක්ව එකී අතුරු තහනම් නියෝගය භාරදීමට රොකට්ටුවක වේගයෙන් කටයුතු කර ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වූ බවත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් එම අතුරු තහනම් නියෝගය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස දෙවන වගඋත්තරකරු වන සිවිල් ගුවන් සේවා සමාගමේ කළමනාකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සහ පළමු වන වගඋත්තරකාර සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පෙත්සම්කාර සමාගමේ එකී අයුතු ක්‍රියාකලාපය අධිකරණයේ ආධිපත්‍යයට කළ අගෞරවයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යමෙකු අධිකරණයෙන් සහනයක් ඉල්ලා පැමිණෙන විට පිරිසිදු දෑතින් පැමිණිය යුතු නමුත් පෙත්සම්කාර සමාගම එලෙස කටයුතු කර නැතැයි ද පෙන්වා දුන්නේය. එකී කනිෂ්ඨ නීතිඥවරයා එලෙස නීති විරෝධී ලෙස දෙවන වගඋත්තරකරුගේ කාර්යාලයට යෑම සහ තම අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පළමු වන වගඋත්තරකරුට භාරදීම සම්බන්ධයෙන් අධිකරණ ඇසූ ප්‍රශ්නවලට ඍජුව පිළිතුරු ලබාදිය යුතු බවත් ජනාධිපති නීතිඥවරයකු ලෙස වඩා වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත් විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයාට අවවාද කළේය.

වගඋත්තරකාර පාර්ශ්ව නගනා චෝදනා අසත්‍ය නම් සාක්‍ෂි කූඩුවට නැග ඒ සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙන ලෙසට සිය කනිෂ්ඨ නීතිඥවරයාට උපදෙස් ලබාදෙන ලෙස ද විනිසුරුවරයා එහිදී පෙත්සම්කාර පාර්ශ්වය නියෝජනය කළ ජනාධිපති නීතිඥවරයාට අවවාද කළේය.

පෙත්සම්කාර සමාගම පැමිණිල්ල සමඟ අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සහතික නොකරන ලද දිවුරුම් ප්‍රකාශයක් බවද වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී කියා සිටියහ. ඒ සම්බන්ධයෙන් කීමට ඇත්තේ කුමක් දැයි විනිසුරුවරයා එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයාගෙන් විමසා සිටි අතර අයර්ලන්තයේ පවතින නීතිය අනුව එලෙස අත්සන් රහිත සහතික නොකරන ලද දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. මෙය අයර්ලන්තයේ අධිකරණයක් නොව ශ්‍රී ලංකාවේ අධිකරණයක් වන බැවින් ශ්‍රී ලංකාවේ අධිකරණ නීති අනුව කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු නොකිරීම නීති විරෝධී බවත් වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

එකී අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් විමසීම හෙට (08 වැනිදා) පැවැත්වීමට අධිකරණය දින නියම කළේය.

රජයේ අධිනීතිඥ සේපාලිකා තිරණාගම මහත්මියගේ උපදෙස් මත රජයේ අධිනීතිඥ ෂෙහාන් සොයිසා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිව් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව යන නීතිඥ මඬුල්ල සමග ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ සුරේන් ඥානරාජ්, මිලානි සපුතන්ත්‍රි මෙනවිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ලසන්ත හෙට්ටිආරච්චි මහතා පළමුවන වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment