අතුල සේනාරත්න සිද්ධිය සහ විශ්වවිද්‍යාලයේ අයිස් ගැහිල්ල

1229

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පදිංචි නිවසට පහර දී ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් තුවාල සිදුකොට දේපළ හානි කිරීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට මේ රටේ වැඩි දෙනා දනිති. මේ පහර දීම කරන ලද්දේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍ය පිරිසක් විසිනි. මහාචාර්ය සේනාරත්නට වැඩිපුර ගුටි නොදෙන ලද නමුත් ඔහුගේ පුත්‍රයාටනම් පිට නිල් වී ඇස් තුවාල වන තරම ට ගුටි දී තිබිණ. මෙය සරල රිය අනතුරක් සම්බන්ධයෙන් හටගත් ප්‍රශ්නයකි. මහාචාර්ය සේනාරත්නගේ නිවස ඉදිරිපිට නතර කර තිබූ යතුරු පැදියක් ඔහුගේ පුත්‍රයා විසින් හෝ එම පවුලේ වෙනත් අයකු විසින් පදවන ලද රියක ගැටිණ. එහි දී බරපතළ ලෙස මද කිපුණු මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින සරසවි සිසු පිරිසක් මහාචාර්ය සේනාරත්නටත් පුතාටත් ඔවුන් පදිංචි නිවසටත් නෙළන්නට පටන් ගත්හ. මේ සිද්ධිය කොතරම් දුරදිග ගොස් ඇත්ද යත් මෙයට විරෝධය පළ කිරීම සඳහා පේරාදෙණිය සරසවියේ අචාර්ය මණ්ඩලය දේශනවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

සිද්ධියට අදාළ ත්‍රස්තවාදී ශිෂ්‍ය පිරිසෙන් කිහිපදෙනෙක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඔවුන්ගේ සමහරු අචල, ප්‍රමෝද්, සඳරුවන්, මධුෂාන්, තිවංක, දිල්ශාන් වැනි ඉතා සුමුදු සහ සැපදායක නම් සහිත අය වෙති. නමක් සැපදායක වෙන්නේ කෙසේ දැයි මෙවිට විද්වතුන් විසින් ප්‍රශ්න කරනු ලබනවා විය හැක. නමක් සැප දෙන්නේ කනට ය. ලස්සන නමක් ඇහෙනවිට කන නමැති ඉන්ද්‍රිය මාර ෆන් එකක් ගනී. කෙසේ වුවද මේ රටේ ලස්සන නම් තිබෙන තරුණ සිසුන් වැඩිදෙනා අමුම කුඩ්ඩෝ ය. මෙයට අවුරුදු තිහකට පෙර මදනමෝදකය කා කිරි එකක් බී හෝ ගංජා සුරුට්ටුවක් ගසා මස්කට් කෑල්ලක් අනුභව කර ෆන් ගත් ශිෂ්‍ය පරම්පරාවේ නූතන සෙට් එක කෙළින්ම ගහන්නේ අයිස් ය. අයිස් යනු රසායන විද්‍යාව විසින් පහළ කරන ලද වඩාත් ම දරුණු මත්ද්‍රව්‍ය වේ. මෙය ඕනෑම රටක ජනගහන ප්‍රශ්නයට විසඳුමක් කරගත හැකිය. ගංජා, හෙරොයින්, කොකේන් වැනි දේවල් දිගින් දිගට ම ගහන එකා අවුරුදු දෙකෙන් මැරේ නම් අයිස් ගහන එකා මාස නවයෙන් පරලොව යයි. මෙයට ශත වර්ෂ එකහමාරකට පමණ පෙර ව්‍යාප්තවාදී බටහිර අධිරාජ්‍යවාදීන් විසින් යටත් විජිතවල කලබගෑනි ඇතිකොට ඒ රටවල ජනයා දුර්වල මිනිසුන් කරනු පිණිස නොමිලේ ම මත් ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙළක් තිබිණ. අද වනවිට ඒ වැඩපිළිවෙළ අධිරාජ්‍යවාදී ආණ්ඩු වෙතින් ගිලිහී කෙළින්ම බිස්නස්කාරයන් අතට ගොස් ඇත. ඒ නිසා විදේශික සහ විජාතික ආක්‍රමණිකයාට වඩා ව්‍යක්ත ලෙසත් අනර්ඝ ලෙසත් මත්ද්‍රව්‍ය බෙදා හැරීම ලෝකය පුරා සිදුවෙයි. ක්‍රි.ව.1500 සිට ක්‍රි.ව.1900 පමණ දක්වා ශ්‍රී ලංකාව ඇතුළු යටත් විජිත ගණනාවක්ම පාලනය කරන ලද්දේ යුරෝපීය වෙළෙඳ සමාගම් කිහිපයක් විසිනි. එසේ ලංකාවට පැමිණි පළමුවන වෙළෙඳ සමාගම පෘතුගීසි සමාගමකි. මුහුදුබඩ අල්ලාගත් ඔවුහු ඒ ප්‍රදේශවල සිටි ජනයාට හරක් මස් ගිල්ලවා බ්‍රැන්ඩි පොවා හැළි අරක්කු පෙරාගත හැකි තරමට උදව් කළේය.

ඊළඟට මෙහි පැමිණි ඕලන්ද වී.ඕ.සී වෙළෙඳ සමාගම එම තත්ත්වය වැඩි දියුණු කළේය. ඉංග්‍රීසි ආණ්ඩුව ද මේ රට අල්ලාගත් පසු පාලන කටයුතු කළේ විශාල සිල්ලර කඩයක් විසින් රටක් පාලනය කරන ආකාරයට මිස උසස් ආක්‍රමණික ආණ්ඩුවක් විසින් තවත් ආණ්ඩුවක් පාලනය කරන ලෙස නොවේ. මේ සියලු කරුණු නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ජාතික මත්ද්‍රව්‍ය වූකලී අරක්කු හෝ කසිප්පු නොව අයිස්ය. අතුල සේනාරත්නගේ ගෙදරට පහර දුන් අය අතර අයිස්කාරයන් හෝ කුඩුකාරයන් සිටින බව අපි යෝජනා කරමු. මේ යෝජනාව ස්ථිර කිරීම හෝ නිෂ්ප්‍රභ කිරීම පාඨකයන්ට භාරය. ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය මේ වනවිට අන්තවාදී වාමාංශික පක්ෂ දෙකක් විසින් බෙදාහදාගනු ලැබ ඇත. එයින් එක පක්ෂයක් අන්තවාදීත්වයෙන් බැහැරව යම් ප්‍රමාණයකට ප්‍රජාතන්ත්‍රවාදී වී තිබේ. ඒ නිසා විශ්වවිද්‍යාලවල ඔවුන් සතුබලය 25%කි. ඉතිරි 75%ම අයිති කරගෙන ඇත්තේ Ultra Leftist හෙවත් අන්ත වාමවාදී කණ්ඩායමක් විසිනි. විශ්වවිද්‍යාලය යනු අධ්‍යාපන ආයතනයක් වන නමුදු ඒ තුළ තිබෙන දේශපාලන ව්‍යාපාර සහ එහි සිටින ශිෂ්‍ය ප්‍රජාවට හිමි දේශපාලන ක්‍රියාකාරකම්වල අයිතිය අපට බැහැර කළ නොහැක. මේ රටේ විශ්වවිද්‍යාලවල සිටින සියලුම දෙනා පාහේ අවුරුදු 18 ඉක්මවූ ඡන්ද බලය හිමි අය වෙති. මේ පිරිස අතර වනචාරී තිරිසන්නු ද ඇත. නවක වධයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්නේත් ඔවුන් දූෂණය කරන්නේත් මේ තිරිසන් වනචාරීන් විසිනි. විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය බලය අල්ලාගෙන සිටින දේශපාලන පක්ෂ ප්‍රචණ්ඩත්වය, නවක වධය සහ ස්ත්‍රී දූෂණය යොදාගන්නේ ආයුධයක් ලෙසය. සාමාන්‍යයෙන් යුද්ධවලදී ද ආයුධයක් හැටියට ස්ත්‍රී දූෂණය යොදාගනු ලැබේ. එවිට දූෂණයට ලක්වන අය තමන් පහත් යැයි සම්මත Inferior Feeling හෙවත් තමන් පහත් යැයි සම්මත සිතුවිල්ලකට පත්වෙති. මෙතැන් සිට යුද්ධය දිනාගැනීමට ප්‍රතිවාදියාට පුළුවන. හැබැයි විශ්වවිද්‍යාල තුළ ඒ සෙල්ලම් හරියන්නේ නැති බව අපි මේ රටේ සරසවිවල සිටින තිරිසන් ශිෂ්‍ය ප්‍රජාකොටසට මතක් කරදෙමු. මේ රටේ මහජනතාව ආණ්ඩුවට බම්බු ගහගන්නැයි කියා ළඟදීම දවසක තිරිසන් ශිෂ්‍ය ප්‍රජාවට විරුද්ධව පාරට බහිනවා ඇත. එදාට සියලු මවුවරු ද පියවරු ද සටනට එන්නේ අතට අසුවෙන මන්න, පිහි, උදලු, කැති වැනි දේ රැගෙන ය. මේ අනතුරු ඇඟවීම සියලු පාර්ශ්ව විසින් සලකා බලනු ඇති බව අපගේ විශ්වාසය වේ.

විශ්ව විද්‍යාල තුළ වනචරකම් කරන සියලු ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසිකර ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment