අතේ පත්තු වුණු රුසියාවෙන් තෙල් නොගැනීමේ බොරුව

1822

රුසියාව අපට තෙල් දෙන්නේ නැහැ යැයි පැවසූවේ මෙරට නවක දේශපාලකයකු වූ කංචන විජේසේකරයි. එහෙත් එය අමූලික බොරුවකි. වසර 50කට අධික දිගු මිත්‍රත්වයක් පවත්වාගෙන යන රුසියාව ශ්‍රී ලංකාවට උදව් කළ අයුරු මේ නවක දේශපාලකයා නොදනී.වසර ගණනකට පෙර ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජය ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳාම ජනසතු කළේය. එහිදී ෂෙල් එසෝ සහ කැල්ටෙක්ස් යන ඕලන්ද සහ ඇමෙරිකානු සමාගම් අකුළා ගෙන ගියහ.එම අවධියේ ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයුවේ සෝවියට් දේශයයි. මේ අතීතය කංචන විජේසේකර නොදනී. යුක්රේන ගැටුම ආරම්භ වීමත් සමග ඌරල් බෝල්ටික් පැසිපික් සහ සයිබීරියානු තෙල් අලෙවි කර ගැනීමට රුසියාවට නොහැකි විය. එම තත්ත්වය මත කංචන විජේසේකර රුසියාවේ තෙල් සමාගමේ කොපමණ සංඛ්‍යාවක් තිබේද යැයි දන්නේද?ඔහු විද්‍යුත්නාලිකා හමුවට පැමිණ රුසියාව ශ්‍රී ලංකාවට තෙල් නොදෙන බව පැවසීම අමුඅමුවේ කෙප්පයකි.යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමගම ඉන්දීය අයි. ඕ. සී. , භාරත් පෙට්‍රෝලියම්, හින්දුස්ථාන් පෙට්‍රෝලියම් සහ රිලයන්ස් යන සමාගම් රුසියාවෙන් බොරතෙල් ලීටර් මිලියන 3 සිට 10 දක්වා ගත්තේය. එහෙත් මෙරට තෙල් පෝලිම් දිනපතාම දික් වෙද්දී කංචන විජේසේකර බලා සිටියේය.

මේ ලිපිය ලියන ලියුම්කරුගේ බිරිය මියගොස් ඇගේ සිරුර කොස්වත්ත මල්ශාලාවේ තැන්පත් කර තිබෙන අවස්ථාවේ ඇගේ දානමය කටයුතු සහ මරණ පරීක්‍ෂණ වාර්තා ලබාගැනීම සඳහා මෝටර් රියට ඉන්ධන ලබාගැනීමට අලුයම 2 සිට දහවල් 11.30 දක්වා ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටීමට ලියුම්කරුට සිදුවිය. ඉන් මගේ වේදනාව සහ දුක වැඩි විය. එහෙත් කංචන විජේසේකර වැන්නවුන්ට ජනතාවගේ වේදනාව දැනෙන්නේ නැත. මෙයට සති කීපයකට පෙර මා රුසියානු තානාපති කාර්යාලය අමතා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබා දෙන්නෙදැයි විමසූවිට එහි සිටි තානාපති නිලධාරියෙක් පැවසූවේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට තෙල් ලබාදීමට රුසියාව සූදානම් බවයි. එහෙත් කංචන විජේසේකර නැමැත්තා මෙරට රුසියානු තානාපතිවරයා හමු වී රුසියානු බොරතෙල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ නැත. ඔහු රුසියානු තානාපති හමුවීමට ද ඉදිරිපත් වූයේ නැත. එහෙත් රුසියාව අපට තෙල් දෙන්නේ නැති බවට ජනතාව රවටමින් ප්‍රකාශයක් ඔහු කළේය. මේ ප්‍රකාශය කිරීමට පෙර බොරතෙල් ලීටර් 38000ක් රැගත් ඩෙලොස් නෙල්ස් තෙල් නැව කොළඹ වරාය අසලට පැමිණියේ අප්‍රේල් 25 දාය. එම නැව දැනට නැංගුරම්ලා ඇත. අපට එම නැවේ තෙල් මිලයට ගැනීමට ඩොලර් නැහැ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණි.එසේනම් රුසියාව තෙල් නොදෙන බව කංචන විජේසේකර පවසන්නේ කෙසේද? අඩු වශයෙන් තෙල් පුරවාගත් රුසියානු නැවක් කොළඹ වරාය අසල මුහුදට පැමිණ ඇතැයි කංචන විජේසේකර දන්නේ නැත.

ඔහු දන්නා එකම දෙය ඛනිජ තෙල් සංස්ථාවට තවමත් රුපියලක අලාභයක් සිදුවන බව විiුත් නාලිකා හමුවේ පැවසීමයි. එසේ වූවත් ඉන්දීය තෙල් ඇමතිවරයා දූර්දර්ශන් රූපවාහිනියට පැමිණ අපට තෙල් වෙළෙඳාමෙන් පාඩු යැයි කිසි දිනක පවසා නැත. නවදිල්ලි නුවර පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 97.62කි. එසේ ම ඉන්දීය අයි ඕ සී තෙල් සමාගම රුපියල් මිලියන ගණනක් ලාභ ලබන බව ඔවුන්ගේ වාර්ෂික වාර්තාවේ දක්වා ඇත.එසේ නම් තෙල් සංස්ථාවට පාඩු සිදු වූයේ ජනතාව නිසාද? බලයට පැමිණ සෑම දේශපාලකයකුම බුරුතු පිටින් තෙල් සංස්ථාව පත්වීම් දුන්නේය. දේශපාලකයකුගේ බෑනා කෙනකු ද තෙල් ආනයනයට සම්බන්ධ විය. ක්‍රිකට් ක්‍රීඩකයකුත් තෙල් ආනයනයට සම්බන්ධ විය.මේ පසුබිම මැද ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ඉන්ධන ලබාගන්නේ ඉන්දියාවෙනි. මේ සතියේදී තෙල් ටොන් 40,000 ක් රැගත් ෆ්‍රීඩම් නෞකාව මෙරට සම්ප්‍රාප්ත විය. මේ තෙල් රුසියාවෙන් ලබාගත් තෙල් බව හෙළි වී ඇත. ඉන්දියාව අඩුමිලට රුසියාවෙන් තෙල් ලබාගෙන ඇතත් ශ්‍රී ලංකාවට එම වාසිය ලබාදෙන්නේ නැත. ශ්‍රී ලංකාවේ රජය ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ඉන්දියාවෙන් බොරතෙල් ලබාගන්නා අතර රුසියානු රජයෙන් එවැනි ණය ආධාර ක්‍රමයක් යටතේ තෙල් ලබාගැනීමට ක්‍රියාකරන්නේ නැත.එසේම තෙල් නැව් එනවා යැයි කංචන විජේසේකර පැවසුවත් තෙල් නැව් එන්නේ කුමන රටෙන් ද යැයි ජනතාවට ප්‍රකාශ කරන්නේ නැත. මේ තෙල් මිලයට ගැනීමේදී අතරමැදියන් සිටින්නේ ද සහ ඔවුන් කවුදැයි අනාවරණය කිරීමක්ද සිදු නොවේ.

ශ්‍රී ලංකාවට තෙල් ආනයනය මහා පරිමාණ ජාවාරමකි. තෙල් බවුසර් ඇති නිලධාරීන්ද ඛනිජ තෙල් සංස්ථාවේ සිටින බවට හෙළි වී ඇති අතර ඒ ගැන සෙවීමක්ද නැත. සිපෙට්කෝ ආයතනයේ සිටින ඉහළ පෙළේ නිලධාරින්ගේ ගැන සහ ඔවුන්ගේ පවුලේ අයගේ වත්කම් විමර්ශනයක් අද වනතුරු සිදු වී නැත. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසූවේ ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි අංශයේ නිලධාරියකුගේ පවුලේ අයගේ නම්වලින් තෙල් ප්‍රවාහන බවුසර් ඇති බවයි. මේ අතර මෙරට පෙට්‍රල් ලීටරය රුපියල් 400ක් දක්වා ඉහළ යද්දී මැයි 23 දා ඉන්දියාවේ නවදිල්ලි නුවර පෙට්‍රල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 96.76 කි.එහෙත් මෙරට සතියකම ඉන්ධන මිල ඉහළ යයි. මෙම පසුබිම මැද පසුගිය අප්‍රේල් 12 වැනි දා රුසියාවේ කසාන්හි ටැට්ලෙන් ඩේ‍රට් ඩ්‍රොට් මොන්දෙශ් තෙල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිමිත්‍රි සුලෙයිනොව්, ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවනු ලැබීය. එහි මෙලෙස සඳහන් විය. “ගිවිසුම් ක්‍රමය යටතේ අපේ සමාගම පෙට්‍රල්, භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන, ඩීසල් සහ පෙට්‍රෝලියම් ආශ්‍රිත නිෂ්පාදන සැපයීමට කැමැත්තෙමු. කරුණාකර අවශ්‍ය දේ සහ අවශ්‍ය ප්‍රමාණය ගැන සඳහන් කරන්න.ඇල්ලේ හිමියන්ට එවා තිබූ එම ලිපිය ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඉදිරිපත් විය. එහෙත් ජනපති රාජපක්‍ෂ රුසියානු තෙල් ලබාගන්නා ලෙස බලශක්ති ඇමතියාට පැවසූවේ නැත.

පසුගිය අප්‍රේල් 12 දා එවූ ලිපියට අද වනතුරු ප්‍රතිචාරයක් දක්වා නැත. රුසියාව මෙලෙස තෙල් ලබාදීමට කැමැත්තෙන් ඉදිරිපත් වී ඇති අවස්ථාවේ කංචන විජේසේකර නැමැත්තා රුසියාව තෙල් දෙන්නේ නැතැයි පැවසූවේ තෙල් ආනයනයේ යෙදී සිටින ජාවාරම් කල්ලිය නිසා ද?පසුගියදා සිදු වූ ආණ්ඩු පෙරළිය නිසා අපට මේ තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට හැකි වී ඇත. නුසුදුස්සන් රටේ බලශක්ති ක්‍ෂේත්‍රයට පත්කිරීමේ විපාකය විඳීමට සිදු වී ඇත්තේ මෙරට ජනතාවටය. දේශපාලන සබඳතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයකු තෙල් සංස්ථාවේ ප්‍රධානියා ලෙස පත්කිරීමට ක්‍රියා කර ඇති තත්ත්වයක රටේ ජනතාව මුහුණදීමට සිදු වී ඇත්තේ අවාසනාවන්ත ඉරණමකටය. ඉන්දීය දේශපාලකයන් සහ නිලධාරීන් රටට ආදරය දක්වති. එහෙත් මෙරට එවැන්නක් සිදු නොවේ. එහෙත් දේශපාලකයන් භාවිත කරන සුපිරි මෝටර් රථ දුටුවිට ඉන්දියානු දේශප්‍රේමය සහ අපේ දේශප්‍රේමය තහවුරු වේ. මෙය පුදුමයක් නොවේ. රජය ජනවසම ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපළට කොටි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සිය අසුනේ නොසිටි යුද අධිකරණයෙන් දඬුවම් ලැබූ ගුවන් හමුදා නිලධාරියෙකි. මේ බව ජනතාව නොදනී.එසේම හෙජින් තෙල් ගිවිසුම නිසා ඩොලර් බිලියන 10.2ක් ශ්‍රී ලංකාවට අහිමි විය. මේ තෙල් ගිවිසුමට ඇමෙරිකානු සිටි බැංකුව සහ චාර්ටඩ් බැංකුව සම්බන්ධ විය. එහෙත් ගිවිසුමට මුල්වූවන්ට දඬුවම් හිමි වූයේ නැත. මීට වගකිව යුත්තා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකි. මොහු ඇමරිකානු සුපිරි හමර් වර්ගයේ මෝටර් රථ පාවිච්චි කරන මොහුට අද වනතුරු දඬුවම් ලැබී නැත. 2007 දී සිදු වූ පෙට්‍රල්වලට අදාළ හෙජින් ගිවිසුම අද අමතක වී තිබේ. ඩොලර් හිඟයක් ගැන හඬ නඟන වත්මන් දේශපාලකයන් ඩොලර් බිලියන 16.2ක් මෙරටට අහිමි වීමට මඟ පෑදූ පුද්ගලයා දඬුවම් නොලබා මෙරට සිටීම ගැන අවධානය යොමු කර නැත. එහෙත් ඉන්ධන ලබාගත නොහැකිව පෝලිම්වල සිටින ජනතාව දියනපතාම දැකගත හැකිවේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment