අත හිරිවැටීමේ රෝගයට සැත්කම්වලින් තොර ප්‍රතිකාර

561

අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇතිවිය හැකිය. නවීනව හඳුන්වනු ලබන මැණික් කටු සන්ධිය ආශ්‍රිතව ඇතිවන කාපල් ටනල් සින්ඩ්‍රොම් (Carpal Tunnel Syndrome) අවස්ථාව මේ සඳහා බහුලව හේතුවන බව හඳුනාගෙන ඇත.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේලා සැලකෙන රෝගයකි. මැණික් කටුව සන්ධියේ යම් ව්‍යුහයක් තුළින් ගමන් ගන්නා ස්නායුවක් (Median Nerve) පීඩාවට පත්වීම හේතුවෙන් රෝග ලක්ෂණ හටගන්නා අතර එවැනි තත්ත්වයක් උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය ද බලපෑ හැකි බව සොයාගෙන ඇත.

මැණික් කටු සන්ධිය ආශ්‍රිතව ඇති කුහරමය ව්‍යුහයක් (Carpal Tunnel) හරහා ඇඟිලිවලට ස්නායු ආවේග සපයන ස්නායුව (Median nerve) ගමන් ගනී. විශේෂයෙන් මහපට ඇඟිල්ල දබරැඟිල්ල, මැදඟිල්ල හා වෙදැඟිල්ලෙහි කොටසකටත් මෙම ස්නායු ආවේග සපයන ස්නායුව ගමන් කරයි.

මෙය අස්ථි හා අස්ථි බන්ධනී (Legaments) වලින් මායිම් වී ඇත. මෙම කුහරය හරහා පේශී කණ්ඩරා (Muscles Tendons) හා ස්නායුව (Median nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යුහය ඇතුළත පීඩනය ද්‍රව එක්රැස්වීමක් නිසා හෝ වැඩිවීම හේතුවෙන් ස්නායුව තෙරපීමකට ලක්වෙයි. එවිට රෝග ලක්‍ෂණ ඇතිවීමට පටන් ගනී.

● රෝග ලක්‍ෂණ

මෙය එකවර හටගන්නා රෝගයක් නොවේ. රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් ඇතිවෙමින් එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් උග්‍රවිය හැකිය. අතෙහි මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි එක් කොටසක වරින් වර ඇතිවන නලියන මෙන් දැනෙන ස්වභාවය (Tingling seusatian) දාහය හා හිරිය සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වයේදී දකින්නට ලැබෙන රෝග ලක්‍ෂණයකි.

රාත්‍රි නින්දට බාධා වන අයුරින් අතෙහි ඇතිවන වේදනාවන් අත පහළට එල්ලා වැටෙන අයුරින් තබාගෙන සිටීමෙන් එම අපහසුතාවය මගහැරී යෑමත් විශේෂයෙන් මෙවැනි රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පැමිණිල්ලකි. මීට අමතරව යමක් අතින් තදින් ග්‍රහණය කිරීමට අසමත් බව හා එසේ කිරීමේදී අපහසුතාවය වේදනාව හා ඇතැම්විට අතෙහි අප්‍රාණික ස්වභාවයක් දැනීම ද සිදුවිය හැකිය.

විශේෂයෙන් කාන්තාවන් හා මැදිවියේ පුද්ගලයනට මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ වැඩි ප්‍රමනතාවයක් පවතී.

● අතහිරිවැටීමට බලපාන හේතු

විවිධ හේතු මේ සඳහා බලපායි. තයිරොක්සින් හෝමෝනයේ විෂමතාවයක් පැවතීම (Hypotuyrodism) දියවැඩියාව වැනි කාලීන රෝග තත්ත්ව පැවතීම, අධි ස්ථූලතාවය නිසා ස්නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත් වීමෙන් ස්නායුව මත තෙරපීමක් ඇතිවීම මැණික් කටුව සන්ධියට සිදුවූ අනතුරකින් අස්ථි බිඳීමකදී (Trauma) ස්නායුවට හානි සිදුවීම, ස්නායු ගමන් මාර්ගයට පිටතින් මාංශපේශිවල වර්ධනයක් හෝ මේද තැන්පත්වීමත් (Lipoma) නිසා ද කුහරමය ව්‍යුහය තුළ පීඩනය වැඩිවීම නිසා ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

විශේෂයෙන් ගර්භණී අවස්ථාවේදී ස්නායු ගමන් මාර්ගය අවට ද්‍රව එක්රැස්වීමක් සිදුවිය හැකි බැවින් ස්නායුව පීඩාවට පත්වීමෙන් ඉහත රෝග ලක්‍ෂණ මතුවීම සාමාන්‍ය තත්ත්වයකි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට මෙම තත්ත්වය මඟහැරී යයි.

බොහෝවිට යම් පුද්ගලයකුගේ වෘත්තීය හා රෝග ලක්‍ෂණ ඇතිවීම අතර සම්බන්ධතාවයක් පවතින අවස්ථා හමුවේ එනම් ලේඛන වෘත්තියේ නිරත වූවන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, විශේෂයෙන් කම්පනය වන උපකරණ (Vibrating Tools) සමග නිතර කාර්යයන්හි නිරත වන්නන් මෙවැනි අවස්ථාවන්ට බහුලව ගොදුරු වෙති.

● කාන්තාවන්ට බලපෑම

ගෘහණියන් දිනපතා නිතර යෙදෙන කාර්යයක් වන පොල් මිරිකීම, අතින් රෙදි සේදීම වැනි කාර්යයන් මැණික්කටු සන්ධියේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වන අතර වැඩි පීඩනයක් යෙදෙන අවස්ථා දැක්විය හැකිය.

මැණික්කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්නායුව ගමන් ගන්නා අවකාශයේ පීඩන වෙනස් වීමක් සිදුවෙයි. මෙම පීඩන වෙනස්වීම නිතර නිතර සිදුවන ලෙස යම් ක්‍රියාකාරකමක නිරතවන්නේ නම් ස්නායුව මත පීඩනයක් යෙදෙයි. එබැවින් එවැනි ක්‍රියාකාරකම් අවම වන සේ වැඩකටයුතුවල යෙදීම, බලපෑම අවම වනසේ උපකරණ භාවිත කිරීම, එහිදී අවම වශයෙන් එවැනි රැකියාවල යෙදෙන්නන් පැයකට වරක් හෝ විවේක ගැනීම, මැණික් කටු සන්ධිය හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම කිරීම, සම්බාහනය කිරීම මගින් මෙවැනි ගැටලු වළක්වා ගත හැකිය.

එසේම සෑමවිටම නිවැරදි ඉරියව්වල අත තබා ගැනීම ද වැදගත් වෙයි.

මෙසේ පෙර සූදානම මගින් එදිනෙදා වැඩකටයුතු වලින් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති අවදානම බළක්වා ගත හැකි වනවා සේම පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමට ද උපකාරි වෙයි.

● ප්‍රතිකාර

මෙම රෝගයේදී පෙන්නුම් කරන විශේෂ රෝග ලක්‍ෂණ අනුව හා විශේෂ පරීක්‍ෂා ක්‍රම මගින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිය.

ඒ අනුව නවීණ විද්‍යානුකූලව වේදනා නාශක, එන්නත් (Steroids ingections) ලබාදීම මෙහිදී සිදුකරන අතර ශල්‍යකර්මයක් මගින් ස්නායුව මත ඇතිවන පීඩනය අවම කිරීමක් සිදු කරයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි මෙවැනි රෝග සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත කරයි. ඉන් ශල්‍යකර්මයකට නොගොස් මෙම රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීමේ අවස්ථාව පවතී, මෙහිදී ප්‍රධානම වාත රෝග චිකිත්සාවට අනුව ප්‍රතිකාර සිදුකරනු ලබයි. එසේම රෝග හේතුවට අනුව ප්‍රතිකාර පද්ධතිය තීරණය කරයි.

අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිරින් ඖෂධීය තෛල ආලේපය අත්‍යවශ්‍යය. නැවීම, පැලැස්තර යෙදීම, ආලේපන ආදී සරල ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

මැණික් කටු සන්ධිය සඳහා වූ ආධාරක :(wrist bracelet) පැළඳීමෙන් අතෙහි චලන සීමා කිරීමත් සමගින් ස්නායුව මත ඇතිවන පීඩනය පාලනයක් මගින් රෝගියාට ඇතිවන අපහසුතාව මගහරවා ගත හැකිය.

ප්‍රතිකාරවලට යොමු නොවී දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක් පාලනය නොකර සිටීමෙන් ස්නායුවට හානි සිදුවීමෙන් මාංශපේශි ක්‍ෂයවීම හා දුර්වලවීම සිදුවිය හැකිය. එබැවින් රෝග ලක්‍ෂණ ඇතිවූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත ගොස් අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0774941118 අමතන්න.

අත හිරිවැටීමේ රෝගයට සැත්කම්වලින් තොර ප්‍රතිකාර

වෛද්‍ය කුමුදුනී කංකානම්ගේ (බී.ඒ.එම්.එස්.) (කොළඹ විශ්වවිද්‍යාලය) වෛද්‍ය නිලධාරී මල්වත්ත ආයුර්වේද රෝහල කිතුල්ගල.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment