අදටත් බිම තබා නැති උද්ඝෝෂණ බැටන් එක

1650

කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝටා ගෝ ගම’ නමැති සංඛේතාත්මක විරෝධතා ගම්මානයේ ශාඛාවක් පසුගිය සති අන්තයේදී ගාල්ලේදී අරඹන ලදී. කොළඹ ගමේ තිබෙන විරෝධතා ක්‍රමවේදය සහ කූඩාරම් එම ගාලු ගමේද තිබිණ. පසුව එහි පැමිණි පොලිසිය විසින් කූඩාරම් ගලවා වීසිකර ගමද විසුරුවා හරින ලදී. අපේ කතු වැකියට පාදක වන පළමුවැනි නිමිත්ත එයයි. දෙවැනි නිමිත්ත මෙසේය; ඉකුත් සතියේ සිකුරාදා වන විට කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ආසන්නයට පොලිස් ට්‍රක් රථ විශාල සංඛ්‍යාවක් ගෙන්වන ලදී. ඒ අනුව පෙනී ගියේ කොළඹ ගෝ ගෝටා ගමට ආණ්ඩුවෙන් වැඩක් දෙන්නට යන බවය. ජනතාව විසින් පවත්වනු ලබන විරෝධතා ව්‍යාපාර රාජ්‍ය බලය යොදා කුඩු පට්ටම් කිරීම පිළිබඳ ඉතිහාසයක් ලංකාවේ තිබේ. ජේ. ආර්. ජයවර්ධන ජාතික සේවක සංගමයේ බයිසිකල් චේන් ත්‍රස්තවාදීන් ලවා ජූලි වැඩ වර්ජකයන්ට පහරදීම එවැනි සිදුවීම් වලින් ඉහළම එකකි. මේ ප්‍රහාරයේදී විරෝධතාකරුවකු වූ වාසුදේව නානායක්කාරගේ බඩ පලන ලදී. එවිට ඔහුගේ අතුනු බහන් උදරයෙන් පිටතට පැමිණි අතර ඒවා ආපසු බඩ ඇතුළට දමා ඉස්පිරිතාලයට ගෙන යන තුරු කැපුම් විවරය අත් දෙකෙන් තද කරගෙන සිටීමට වාසුදේවට සිදුවිය. ඉන්පසුව බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා ව්‍යාපාර විසුරුවා හැරීම සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කළේය. ආර්. ප්‍රේමදාස ජනාධිපති වූ පසු ජනතා උද්ඝෝෂණ හෝ විරෝධතා ව්‍යාපාර කිසිවක් පැවැත්වුණේ නැත. එය විශේෂ සිද්ධියකි. ප්‍රේමදාස යුගයේදී කිසියම් උද්ඝෝෂණයක් පැවැත්වීද එදිනම රාත්‍රියේදී උද්ඝෝෂණ නායකයන් අතුරුදන් කරවන ලදී. දකුණු ඇමරිකානු රටක් වූ චිලි රාජ්‍යය අගුස්තෝ පිනෝජේ නමැති යුද හමුදා ජෙනරාල්වරයා විසින් පාලනය කළ භීෂණකාරී යුගයේදී සියලුම මහජන උද්ඝෝෂණ සහ උද්ඝෝෂණ කරුවන්ට පිළිතුරු දෙන ලද්දේ ප්‍රේමදාස යුගයේ පැවති ක්‍රමවලිනි. නැවතත් අපේ මාතෘකාවට හැරෙමු. ගෝල්ෆේස් පිට්ටනියට පොලිස් ට්‍රක් රථ සමූහය ගෙන්වන ලද සැණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ක්‍රියාත්මක වී එම ට්‍රක් රථ ඉවත්කර ගන්නා ලෙස ආණ්ඩුවට බල කළේය. ට්‍රක් රථ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ අර්ථ නිරූපණය ඉතාම කදිම, හිනා යනවා වෙනුවට ඇඬෙන විහිළුවකි. ගෝල්ෆේස් පිට්ටනියේ ඩියුටි කරන රාලහාමිලාට විවේක ගැනීම පිණිස මේ ට්‍රක් රථ ගෙන්වන ලදැයි පොලිස් දෙපාර්තමේන්තුව කීවේය. යුද හමුදා බළකායක් හෝ පොලිස් රාළහාමිලා පිරිසක් හෝ කිසියම් තැනක ඩියුටියක් කරන විට ඔවුන්ට විවේක ගනු පිණිස ඇඳවල් ගෙනෙන සිරිතක් නැත. එවිට සිදුවන්නේ විඩාවට පත් බළකාය ඉවත් කරගෙන ඒ ඩියුටියට අලුත් බළකායක් ගෙන ඒමය. ඒ නිසා මෙබඳු වූ නිදහසට කාරණා ඉතාම අභව්‍යය. යම් විදියකින් පොලිසිය එදා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට පහර දුන්නේ නම් අයි එම් එෆ් එකෙන් ඩොලර් සත පහක්වත් අපට ලැබෙන්නේ නැත. ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි මහත් උනන්දුවක් දක්වයි. රුසියාව යුක්‍රේනයට බෝම්බ දමන ගමනුත් කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැනය. බෝම්බය වැටෙන්නේ ප්‍රජාවගේ හිස මතට බව එතැනදී සැලකිල්ලට ගනු නොලැබේ. ඒ නිසා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට අත නොතැබීමෙන් ආණ්ඩුව ඉතා බුද්ධිමත් තැනකට තල්ලු වූ බව අපි හිතමු. ගෝල්ෆේස් සිද්ධියට සමගාමීව හරීන් ප්‍රනාන්දු, හෙක්ටර් අප්පුහාමි, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, මනුෂ නානායක්කාර නමැති සජබ මන්ත්‍රීවරුන් පස්දෙනා (ඔරිජිනල් එජාප) ෆේස්බුක් සහ රූපවාහිනී ඔස්සේ ලයිව් එමින් සිදුවීමට යන විපත්තිය ප්‍රසිද්ධියට පත් කළහ.

 උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වන්නේ ආණ්ඩුව සහ ජනාධිපති ගෙදර යන ලෙසය. ඒත් මේ පාර්ශ්ව දෙක බලය අත් හරින්නේ නැත. එසේම උද්ඝෝෂකයන්ද ගෙදර යන බවක් නොපෙනේ. මේ උද්ඝෝෂණය කරගෙන යන්නේ විශ්වවිද්‍යාල ළමයින් සත්‍යග්‍රහ සහ උද්ඝෝෂණ පවත්වන ශිෆ්ට් ක්‍රමයටය. විශ්වවිද්‍යාලය ඉස්සරහ අට්ටාලයක් ඉදිකරන සරසවි ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාල දේශන නැති වෙලාවට අට්ටාලය මතට නැගී සත්‍යග්‍රහය කරති. එම ළමයින්ට දේශන යෙදෙන වෙලාව එන විට දේශන ඉවර වූ වෙනත් සෙට් එකක් එම හිස්තැනට එති. සිංහල අවුරුදු කාලයේදී ගෝල්ෆේස් උද්ඝෝෂකයන් අවුරුදු කන්නට යනවා නම් ඔවුන් ආපසු එනතුරු එම හිස්තැන පිරවීමට තමන් එන බව මේ රටේ මුස්ලිම් තරුණයෝ සමාජ මාධ්‍ය ඔස්සේ දන්වා සිටියහ. මෙයින් හැඟෙන්නේ මැරතන් බැටන් එක බිම නොතබන බවකි. ආණ්ඩුව ගෙදර යෑම කෙසේ වෙතත් අද දවස ඇතුළත අලුත් කැබිනට් මණ්ඩලයක් දිවුරන බව දැනගන්නට තිබේ. මන්දයත් කැබිනට් මණ්ඩලයක් නැති රටකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දෙන්නේ නැත. මූල්‍ය අරමුදලෙන් ණය ගන්නට නම් රට තුළ නීත්‍යානුකූල පාලන රටාවක් තිබිය යුතුය. අලුත් කැබිනට් මණ්ඩලය පත් කරන්නේ ඒ අවශ්‍යතාව පිණිස වුවද පරණ කැබිනට් මණ්ඩලයේ සිටි පල් හොරුන්ට නැවතත් ඇමැති තනතුරු දීමෙන් ආණ්ඩුව වැළකී සිටිය යුතුය. මේ ගැන දුරදිග කතා කිරීමෙන් වළකිමු. මන්ද යත් කලින් පැවති කැබිනට් මණ්ඩලයේ සිටි පල් හොරුන්ට ඇමැති තනතුරු නොදෙනවා නම් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 75% ට පමණ ඇමැති තනතුරු නොදීමට ආණ්ඩුවට සිදුවෙයි. අදට මෙතනින් නවතිමු.

advertistmentadvertistment
advertistmentadvertistment