අදටත් සීනි රු. 85ට දෙන්න පුළුවන්… ආණ්ඩුවේ ගජමිතුරෝ සීනි මගඩියෙන් කෝටි 6000ක් සෙව්වා

78

රුපියල් අසූපහක උපරිම සිල්ලර මිල නියම කර තිබූ සීනි කිලෝග‍්‍රෑමයක් රුපියල් 240ක් වැනි ඉහළ මිලකට විකිණීමෙන් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු රුපියල් කෝටි 6000 පමණ දැවැන්ත ලාභයක් අත්කර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03 වැනිදා* චෝදනා කර සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව තම හිතවතුන්ට ලාභ උපයා ගැනීමට ඉඩදී කටයුතු කරන බවත් සඳහන් කළ හෙතෙම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාව මේ තත්ත්වය තුළ තව තවත් පීඩාවට පත්ව ඇති බව පැවසීය.

කූට වෙළෙඳුන්ගේ අවශ්‍යතාවය මත ඉහළ ගොස් ඇති සීනි කිලෝවක් ආසන්න වශයෙන් රුපියල් 79 වැනි මුදලකට ආනයනය කිරීමට හැකි බවත් කී විජිත හේරත් මහතා අදටත් සීනි කිලෝවක් රුපියල් 85ක් වැනි මුදලකට පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බවත් කීවේය.

ආණ්ඩුව කූට වෙළෙඳුන්ට වාසි ලැබෙන ලෙස වැඩි කළ සීනි මිල වහා අඩුකර සාධාරණ මිලට ජනතාවට ලබාදීමට ක‍්‍රියාකළ යුතු බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

ගැසට් ගසා ජනතාව පීඩාවට පත් කිරීම ආණ්ඩුව දැන් හෝ නතර කළ යුතු බවත් කී හෙතෙම වසංගතයක් හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාව ව්‍යාපාරිකයන් සතුටු කිරීම උදෙසා තව තවත් පීඩාවට පත් කරන්නේ මන්දැයි රජයෙන් ප‍්‍රශ්න කරන බව ද කීවේය.

ආණ්ඩුව සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පළ කර ඇති ගැසට් පත‍්‍රය මගින් ද වාසි සිදුව ඇත්තේ ජනතාවට නොව හිත මිතුරු ව්‍යාපාරික ප‍්‍රජාවට බවටත් හෙතෙම පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (03 වැනිදා* එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment