අදානිගේ වත්කම ඩොලර් බිලියන 48 කින් අඩුවේ – ධනවත් ලැයිස්තුවේ තුන්වැනි තැනින් හත්වන තැනට

547

ගල් අඟුරු බලාගාර හයක හිමිකම් දරන අදානි ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පුද්ගලික අංශ දැවැන්තයා ය. ඒ අතරම, හරිත හයිඩ්‍රජන් සඳහා ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට පසුගිය වසරේ ප්‍රතිඥා දී ලබා දී තිබූ අතර ඔහු කිලෝමීටර 8000ක් දුරකට ස්වාභාවික ගෑස් නළ මාර්ගයක් පවත්වාගෙන යයි. ඔහු ඉන්දුනීසියාවේ සහ ඔස්ටේ්‍රලියාවේ ගල් අඟුරු පතල් ද මිල දී ගෙන ඇත. 2030 වන විට ගෝලීය පුනර්ජනනීය බලශක්ති දැවැන්තයා වීමට ඔහු අපේක්ෂා කරයි.

2008 නොවැම්බර් 26 වැනි දා රාත්‍රියේ, එවකට ඉන්දියාවේ 10 වැනි ධනවතා වූ ගෞතම් අදානි මුම්බායිහි සුඛෝපභෝගී ටාජ් මහල් හෝටලයේ අවන්හලක රාත්‍රී ආහාරය ගනිමින් සිටියේ ය. එක් වරම එයට ඇතුළු වූ පාකිස්තාන ජිහාඩ් තුවක්කුකරුවෝ කිහිපදෙනෙක් සතර අත වෙඩි තබමින්, අත්බෝම්බ ප්‍රහාර එල්ල කරන්නට පටන්ගත්හ. බොහෝ අහසුවෙන් ජීවිතය ගලවා ගත් අදානි පසුදින සිය පුද්ගලික ජෙට් යානයෙන් අහමදාබාද් වෙත පැමිණීමෙන් පසු “මම අඩි 15ක දුරින් ඉඳන් මරණය දැක්කා යනුවෙන් වාර්තාකරුවන්ට පවසා තිබිණි. එයින් වසර 14කට පමණ පසු, 60 හැවිරිදි අදානි ලොව තෙවන ධනවත්ම පුද්ගලයා බවට පත්වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේය. ධන බලයෙන් ඔහු දෙවැනි වූයේ ඊලොන් මස්ක් සහ ජෙෆ් බේසෝස්ට පමණි. ඔහු ලැයිස්තුගත වෙළෙඳාම් සමාගම් හතක්, සේවකයන් 23,000ක් සහ ඩොලර් බිලියන 230කට වැඩි වෙළෙඳපළ ප්‍රාග්ධනයක් සහිත, වරායේ සිට බලශක්ති ක්ෂේත්‍රය දක්වා දිවෙන ආයතන සමූහයක් පවත්වාගෙන යයි. එහෙත් පසුගිය සිකුරාදා සිදුවූයේ කුමක්ද? ඒ නිසා ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍ය සෙලවුණු අතර ජනවාරි සිව්වැනි සතිය ආරම්භයේදී ලොව තුන්වන ධනවත්ම පුද්ගලයා වූ අදානි සිකුරාදා දිනයේ කොටස් වෙළඳපළේ සිදුවූ කඩා වැටීමත් සමග ෆෝබ්ස් හි ප්‍රකෝටිපතියන්ගේ ලයිස්තුවේ හත්වන ස්ථානයට විසිවිය. ඇමරිකාවේ නිව්යෝර්ක් හි ස්ථාපිත හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් ජනවාරි 24 නිකුත් කරන ලද වාර්තාවක් මගින් අදානිගේ ව්‍යාපාර ජාලය කොටස් මෙන්ම ගිණුම්කරණ වංචා සිදු කර ඇති බව හෙළි කිරීම නිසා පසුගිය සිකුරාදා අදානිගේ සමාගම්වල කොටස්වල අගය ඩොලර් බිලියන 48 කින් පහළ වැටිණි. මෙය අදානි ව්‍යාපාරයට එල්ලවී ආයතනික වංචා චෝදනාව බොහෝ බරපතළය. මේ සමූහයේ ප්‍රමුඛ සමාගම වන අදානි එන්ටර්ප්‍රයිසස්, මුම්බායි කොටස් අගය 20% කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටුණු අතර අදානි ටෝටල් ගෑස්, අදානි ග්‍රීන් එනර්ජි සහ අදානි ට්‍රාන්ස්මිසන් යන සමාගම් වල කොටස් ද සියයට 20 බැගින් පහත වැටුණි. අදානි සමූහ ව්‍යාපාරය 1988 දී ආරම්භ කරන ලද අතර එය භාණ්ඩ වෙළෙඳාමෙන් ආරම්භ විය. සමූහ ව්‍යාපාරික අවශ්‍යතා දැන් වරාය සහ ගුවන් තොටුපළවල සිට පතල් කැණීම් සහ පුනර්ජනනීය බලශක්තිය දක්වා විහිදේ.

ගල් අඟුරු බලාගාර සයක හිමිකම් දරන අදානි ඉන්දියාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පුද්ගලික අංශ දැවැන්තයා ය. ඒ අතරම, හරිත හයිඩ්‍රජන් සඳහා ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට පසුගිය වසරේ ප්‍රතිඥා දී ලබා දී තිබූ අතර ඔහු කිලෝමීටර 8000ක් දුරකට ස්වාභාවික ගෑස් නළ මාර්ගයක් පවත්වාගෙන යයි. ඔහු ඉන්දුනීසියාවේ සහ ඔස්ටේ්‍රලියාවේ ගල් අඟුරු පතල් ද මිල දී ගෙන ඇත. 2030 වන විට ගෝලීය පුනර්ජනනීය බලශක්ති දැවැන්තයා වීමට ඔහු අපේක්ෂා කරයි. අදානිගේ දියුණුවේ වේගය සහ පරිමාණය පෙර යුගවල කාර්මික දැවැන්තයන්ගේ වේගය හා සැසඳිය හැකි බව ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු වන ජේම්ස් ක්‍රෑබ්ටි්‍ර තම The Billionaire Raj( Journey through Indiazs New
Gilded Age කෘතියේ ලියා තිබේ. හින්ඩන්බර්ග් වාර්තාව වචන තිස්දෙදාහකින් සමන්විත වන අතර එයින් මේ සමාගමට එරෙහි ප්‍රශ්න 88ක් ඉදිරිපත්කර ඇත. ඉන්දීය මාධ්‍යවේදී ශේකාර් ගුප්තා පවසන්නේ අදානි සමාගමේ කොටස් අගය සියයට විස්සකින් හෝ ඊට වැඩි ගණනකින් කඩා වැටෙන විට එය එරට කොටස් වෙළෙඳපළට පමණක් නොව බැංකු පද්ධතියටද නරක ආකාරයෙන් බලපානා බවය. අදානිගේ සමාගම් හා ඉන්දියානු බැංකු අතර ඇති සබඳතාව හේතුවෙන් මේ අර්බුදය හටගනී. කොරෝනා සමයේ අදානිගේ ව්‍යාපාරවල අගය බොහෝ සෙයින් ඉහළ ගියේය. නමුත් සමහරු ප්‍රකාශ කළේ මේ ව්‍යාපාර වර්ධනය බුබුලක් වැනි බවයි. බුබුල කොයිම හෝ වෙලාවක පුපුරා යයි. ගිය සතියේ සිදුවූයේ එයද? කවරක් නමුත් අදානි සමාගම ප්‍රකාශ කරන්නේ හින්ඩන්බර්ග් ආයතනයට එරෙහිව ඉන්දියාවේ මෙන්ම ඇමෙරිකාවෙදීත් නඩු පවරන බවය.

අදානි සමාගම හින්ඩන්බර්ග් වාර්තාව සම්බන්ධයෙන් පිටු සීයක පිළිතුරු ලිපියක් සකස් කර ඇති නමුත් එය එළි දක්වන්නේ කවදාද යන්න මෙතෙක් හෙළි කර නැත. මන්ද මේ සඳහා ඔවුන් නීති අංශ වලින්ද උපදෙස් ලබා ගැනීමට නියමිතය. ජනවාරි 31 වන දින අවසන් වීමට නියමිත ඩොලර් බිලියන දෙකකට අධික නව කොටස් අලෙවියක් සම්පූර්ණ කිරීමෙන් පසුව මේ පිළිතුරු ලිපිය නිකුත්කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. හින්ඩන්බර්ග් ආයතනය පුරා දෙවසරක් තිස්සේ කළ විමර්ශනයේදී අදානි සමූහය විසින් දශක ගණනාවක් පුරා නිර්ලජ්ජිත කොටස් හැසිරවීමේ සහ ගිණුම්කරණ වංචාවක යෙදී සිටින බව සොයාගෙන ඇති අතර සමූහ ව්‍යාපාරයේ “අධික ණය” ගැනත් හෙළි කර ඇත. කොටස් හිමියන් කලබල වී ඇත්තේ මේ නිසාය. මුම්බායි කොටස් වෙළෙඳපළ සෙලවෙන්නේ මේ හේතුවෙනි.

මීට වසර දෙකකට පෙර එනම් 2021 ඔක්තෝබර් මාසයේදී ගෞතම් අදානි පිරිසක් මන්නාරමේ සංචාරයක නිරත විය. විදුලිබල මණ්ඩලයට අයත් විශාලතම සුලං විදුලි ජනන මධ්‍යස්ථානය පිහිටා ඇති මන්නාරමේ සුලං විදුලි බලාගාරයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට ගෞතම් අදානි මහතා ඇතුළු පිරිස පැමිණ තිබිණි. එයින් පසු මෙරට බොහෝ ආයෝජන සඳහා අදානි සමාගම වැඩට බස තිබේ. කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉදිකරන්නේද අදානිට අයත් සමාගමකි. අමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජනයක් ඉක්මවන මෙම ව්‍යාපෘතියේ ගිවිසුම අනුව වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් මගින් බටහිර පර්යන්තයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යෑමට නියමිත ය. අදානි සමාගම, ජෝන් කීල්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට තීරණය ඇති අතර එහි ගිවිසුම් කාලය වසර 35කි. බටහිර පර්යන්තයේ ඉදිකිරීම් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ විය. මේ සෙලවීම් කොළඹ වරායේ සංවර්ධනයට කෙසේ බලපාන්නේද යන්න ගැන කතා කිරීමට තවම කල් වැඩිය.

ඉන්දීය අගමැති ලෙස මෝදි පත්වීමත් සමග අදානිගේ ව්‍යාපාර වේගයෙන් ව්‍යාප්තවන්නට විය. අගමැති මෝදි සමග ගෞතම් අදානිගේ සබඳතා ඇරඹුණේ 2001 වසරේ දී ය. නරේන්ද්‍ර මෝදි ගුජරාටයේ මහ ඇමැතිව සිටිය දී, මුන්ද්‍රා වරායේ කළමනාකරණ කොන්ත්‍රාත්තුව අදානිට ලැබුණි. ඔහු බලශක්ති ක්ෂේත්‍රය තුළ ද ශක්තිමත් පදනමක් නිර්මාණය කර ගත්තේ ය. මෙය නරේන්ද්‍ර මෝදිගේ කාර්මික උපායමාර්ගය කෙරෙහි අදානි දැක්වූ විශ්වාසය වෙනුවෙන් සිදුකළ ප්‍රති උපකාරයක් විය. 2022 ජුලි මාසයේදී ඔහුගේ 60 වැනි උපන්දිනය සැමරීම සඳහා විවිධ සමාජ සත්කාර සඳහා අදානි රුපියල් බිලියන 600 ක පරිත්‍යාගයක් ද කළේය. ඔහු සල්ලි උල්පතකි. ඒ උල්පත පාදා ගැනීමට උපකාර වූ මෝදි අගමැතිට උපකාර කිරීමට මේ ව්‍යාපාරිකයා කිසිවිටක පසුබට වන්නේ ඇත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේ යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ එවක සභාපතිවරයා පසුගිය 2021 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් සිදුකළේ ය. කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සිදුකර දිනක් ගතවීමට ද මත්තෙන් සභාපතිවරයා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනුණි. 2008 දී අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ වටිනාකම ඇ.ඩො. බිලියන අටක් වූ අතර, 2021 වන විට එය ඇ.ඩො. බිලියන 78 දක්වා ඉහළ ගොස් තිබුණි. නමුත් දැන් ඒ ගණන් වෙනස් ව තිබේ. හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් අදානි ඉන්දීය ආණ්ඩුවෙන් අයුතු ප්‍රයෝජන ගන්න බවත් ව්‍යාපාර වලට එරෙහිවන අය නිහඬ කරන බවත් හෙළි කර ඇත. අදානිගේ ව්‍යාපාර ජාලය එන්ඩීටීවී රූපවාහිනි බලය ඇල්ලුවේ පසුගිය මාසයේය. 47 හැවිරිදි රවීෂ් කුමාර් පුරා දශක දෙකක් මේ රූපවාහිනි නාලිකාවේ සේවය කළ අතර ඔහු පසුගිය දෙසැම්බරයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අදානි බලය ඇල්ලීමත් සමගය. රවීෂ් කුමාර් ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය රූපවාහිනි මාධ්‍යවේදියකු වන අතර ඔහුගේ ඉල්ලා අස්වීම තුළින් ඉන්දියාවේ මාධ්‍ය නිදහස පිළිබඳ කනස්සල්ලක් මතුව ඇත. රවිෂ් මෝදි පාලනය තදින් විවේචනය කළ මාධ්‍යවේදියෙකි. නමුත් දැන් අගමැතිට හිතවත් පිරිසක් ඔහුගේ රූපවාහිනියේ අයිතිය පවරාගත් පසු මේ මාධ්‍යවේදියාට සිය සුපුරුදු කාර්යභාරය ඉටුකළ නොහැකිය. ගෙදර යන්නට සිදුවිය. එසේම ප්‍රකට මාධ්‍යවේදී සිරිනිවාසන් ජේන් මහතාද පසුගිය සතියේ මේ රූපවාහිනිය හැර ගොස් ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment