අදානි මන්නාරමටත් බැල්ම දමයි

602

ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් මත මෙගාවොට් 1000 ක යෝධ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගම එකඟත්වය පළ කර ඇති අතර එම ව්‍යාපෘතියට අදාළ යෝජනාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටී.

ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙම ආයෝජනය මෙරටට ලබා ගන්නේ ශී‍්‍ර ලංකා විදුලි (සංශෝධන)) පනතට ප‍්‍රකාරවය.

2030 වසර වන මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 70 ක් පරිසරයට හිතකාමී සුනිත්‍ය බලශක්ති ප‍්‍රභවයන්ගෙන් ලබා ගැනීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන අතර ඒ අනුව සුළං සූර්ය සහ එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු* බලාගාර සඳහා ප‍්‍රමුඛත්වය දීමට පියවර ගෙන තිබේ.

මන්නාරම ප‍්‍රදේශයේ පවතින සුළං මගින් මෙවැනි විශාල සුළං බලාගාර ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට ශී‍්‍ර ලංකාවට මුදල් නොමැති නිසා මේ ආකාරයට විදේශ ආයෝජන මත බලාගාර ඉදිකිරීමේ වරදක් නොමැති බවත් අදාළ ගිවිසුම් අත්සන් කිරීමේදී එම බලාගාරවල මෙහෙයුම් කටයුතුවල අයිතිය ලංකා විදුලිබල මණ්ඩලය සතුවිය යුතු බවත් ඉංජිනේරුවෝ පවසති.

මේ වනවිට මෙරට විදුලි ඉල්ලූම සපුරා ගැනීම සඳහා වියදම් අධික ඞීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නිසා ලංවිම රුපියල් කෝටි 90,000 ක පමණ පාඩුවක් ලබා සිටින බැවින් අඩු වියදම් සහිත බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය බව ද ඔවුහු කියා සිටිති.

ඞීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 25, 30 වැනි මුදලක් වැය වන අතර සුළං බලාගාරයකින් විදුලි ඒකකයක් රුපියල් 15 කට පමණ නිපදවාගත හැකි බව ද ඉංජිනේරුවෝ සඳහන් කරති.

වැඩි මිල ගණන්වලට විදුලි ඒකක මිලදී ගෙන ඊට වඩා අඩු මිලකට පාරිභෝගිකයින් වෙත විදුලිය විකිණීමට සිදුව තිබීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය දිගින් දිගටම පාඩු ලබන අතර 2030 වනවිට පුනර්ජනනීය ප‍්‍රභවයන් මගින් සියයට 70 ක් විදුලිය ලබාගත හැකි නම් එමගින් වාර්ෂිකව රටට රුපියල් කෝටි 500 ක් ඉතිරි වන බවට ගණන් බලා තිබේ.

ඉන්දියාවේ අදානි සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය ද එම සමාගමට ලබාදීමට අදාළ මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය සහ ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment