අද අපේ රට කුණාටුවකට හසුවූ කප්පිත්තෙක් නොමැති නෞකාවක් වගෙයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

163

* ජනපතිගේ තීන්දු අර්බුදය තීව‍්‍ර කරනවා

* අගමැති ඔහේ බලන් ඉන්නවා

රට මෙතෙක් කලක් පාලනය කළ පාලකයන් විසින් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල භයානක ප‍්‍රතිවිපාකයන්ට මේ වන විට රටට සහ ජනතාවට මුහුණදීමට සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

නමුත් වත්මන් පාලකයන් එම අර්බුදය හමුවේ තම මඩිය තරකර ගැනීමේ අරමුණින් පමණක් කටයුතු කරන බව කී හෙතෙම ඔවුන්ට මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කිසිදු විසඳුමක් නොමැති බවටත් චෝදනා කළේය.

ඒ මහතා එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (01 වැනිදා* පැවති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපේ රට මේ වන විට ගැඹුරුතම ආර්බුදයක ගිලී යමින් තිබෙනවා. නමුත් මේ අර්බුදයට වගකියන කෙනෙක් නොමැති බව පෙනෙනවා. විසඳුම් ලබා දෙන්නේ කවරෙක්ද යන්නට වගකියන කෙනෙක් නැහැ. අප දන්නවා අපේ රට දිගු කාලයක් අනුගමනය කරන ලද වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිවල භයානක ප‍්‍රතිවිපාකවලට රටත් ජනතාවත් මුහුණ දෙමින් තිබෙනවා. පසුගිය අයවැය ලේඛනය දෙස බැලූ‍වත් රටේ සාමාන්‍ය ආර්ථික ක‍්‍රියාකාරිත්වය දෙස බැලූ‍වත් මේ අර්බුදයේ ගැඹුර පැහැදිලියි. අද වන විට බහාලූ‍ම් 1000කට වඩා අධික සංඛ්‍යාවක අත්‍යාවශ්‍ය භාණ්ඩ කොළඹ වරායේ සිර වී ඇති බව වාර්තා වනවා. භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා බැංකුවලින් ඩොලර් නිකුත් නොකරන තත්වයක් ඇතිවී තිබෙනවා. බොර තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම නිසා දීර්ඝ කාලයක් ක‍්‍රියාත්මක වූ තෙල් පිරිපහදුව මේ වන විට නතර කොට තිබෙනවා. ආර්ථික දත්ත දෙස බැලූ‍වත් සාමාන්‍ය ජන ජීවිතය දෙස බැලූ‍වත් මෙම අර්බුදයේ ගැඹුර සහ ප‍්‍රමාණය ඉතා පැහැදිලියි.

මේ ඇතිවී තිබෙන ඩොලර් හිඟය එය විසින් ඇති කරන ලද අර්බුදය වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා. නිදසුනක් ලෙස ගත හොත් ඉදිරි මාස තුනක කාලය සඳහා අපට ඩොලර් බිලියන 06ක මුදලක් අවශ්‍ය වී තිබෙනවා. නොවැම්බර්, දෙසැම්බර් මාස දෙක තුළ ගෙවීමට තිබෙන ණය වෙනුවෙන් ඩොලර් 351ක වාරිකයක් ගෙවීමට තිබෙනවා. එළැඹෙන ජනවාරි 18 වැනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක් ගෙවීමට තිබෙනවා. ජනවාරි මාසයේ ණය වාරිකය වනුයේ බිලියන 1.1ක් ගෙවිය යුතුව තිබෙනවා. ආණ්ඩුව ණයවර ලිපිවෙනුවෙන් දින 90, දින 180 ආදී වශයෙන් කල් ලබාදී තිබුණා. බැංකු විසින් ඒ අනුව ණයවර ලිපි නිකුත් කර තිබුණා. දැනට ආනයනය කොට තිබෙන භාණ්ඩවලට අදාළව නිකුත් කර තිබෙන ණයවර ලිපිවල වටිනාකම් අනුව මහජන බැංකුව සැප්තැම්බර් 30 දින වන විට ඩොලර් බිලියන 1.1ක ණයවර ලිපි නිකුත් කර තිබෙනවා. ලංකා බැංකුව සැප්තැම්බර් 30 වන විට ඩොලර් බිලියන 1.3ක් ණයවර ලිපි නකුත් කර තිබෙනවා. අද වන විට එම අගයන් තවත් ඊටත් වඩා වැඩියි. ඒ අනුව රාජ්‍ය බැංකු දෙකේ පමණක් ණයවර ලිපි ප‍්‍රමාණය ඩොලර් බිලියන 2.5ක් ඉක්මවන ප‍්‍රමාණයක් වී තිබෙනවා. වෙනත් වාණිජ බැංකු හරහාත් මේ වන විට ණයවර ලිපි විශාල ප‍්‍රමාණයක් නිකුත් කර තිබෙනවා. මේ තත්වය තුළ ගෙන්වන ලද භාණ්ඩ සඳහා ගෙවීමට අදාළව විශාල ඩොලර් අර්බුදයක් ඇතිවී තිබෙනවා.

එසේම මේ වන විට රටට ඩොලර් ලැබෙන මාර්ග විශාල ලෙස කඩා වැටී තිබෙනවා. ශුද්ධ ලෙස රටට ලැබුණු ඩොලර් ප‍්‍රමාණයක් වන්නේ විදෙස් ගත ශ‍්‍රමිකයන්ගෙන් ලැබුණු පේ‍්‍රෂණයයි. ආසන්න වශයෙන් එය ඩොලර් බිලියන 7.5ක් වනවා. නමුත් පසුගිය මාස 6ක කාලයක් පුරා එම ලැබීම් වේගයෙන් පහළ යමින් තිබෙනවා.

මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපේ රට විශාල ඩොලර් අර්බුදයක ගිලී තිබෙන බවයි.

ජනාධිපතිවරයා විසින් ගනු ලබන තීන්දු තීරණ විසින් පෙන්වා දෙනු ලබන්නේ අර්බුද වකවානුවක් පිළිබඳව ඔහුට හැඟීමක් නොමැති බවයි. ඔහුගේ තීරණ මෙම අර්බුදය සමනය කරන දිශාවට නොව, අර්බුදය තීව‍්‍ර කරන ඒවායි. රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාටත් මෙම අර්බුදයේ ස්වභාවය තේරුම් ගැනීමට නොහැකියි. අග‍්‍රාමාත්‍යවරයා සැලකුවොත් ඕනෑම දෙයක් වුණාවේ කියලා ඉන්නවා. ඔහු වෙනත් දේ කරමින් ඉන්නවා. මුදල් අමාත්‍යවරයා ගත්තොත් පාර්ලිමේන්තුවට මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට අසමත් වී තිබෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා ගත්තොත් මේ අර්බුදයේදී ඔහුගේ කාර්යභාරය නිසි පරිදි ඉටුකරන බවක් පේන්නේ නැහැ. මේ තත්වය තුළ මෙම අර්බුදය හමුවේ අපේ රට කුණාටුවකට හසුවූ අසීරුවෙන් ගමන් කරන කප්පිත්තෙක් නොමැති නෞකාවක් බවට පත්වී තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment