අද ඉඳලා අපිත් දූෂණ විරෝධයට මූලිකත්වය ගන්නවා

129

ශ්‍රීලපොපෙ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්

මේ රටේ නිදහසින් පසු හිටපු සියලු‍ රාජ්‍ය නායකයින්ගේ සියලු‍ දේපොළ පරීක්ෂා කළ හැකි, දේශීය හා විදේශීය කිසියම් දේපොළක් තිබේනම් ඒවා අත්පත් කරගත හැකි ඔවුන්ට දඬුවම් පැමිණිය හැකි විශේෂ නීති සම්පාදනය කිරීමක් කරන ලෙස ජනාධිපතිවරයාට අපි බලකර සිටින බවත් ඒසඳහා වන දූෂණ විරෝධී නීති ගෙන ඒම සම්බන්ධයෙන් සම්පූර්ණ මූලිකත්වය ගෙන කටයුතු කරන පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සිට කටයුතු කරන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (20දා) පැවැති මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක්වූ කාරියවසම් මහතා මෙසේද සඳහන් කළේය.

අපේ රට තිස් වසරක යුද්ධයක් පැවැති රටක් මේ රට පාලනය කරපු ජනාධිපතිවරු හතර දෙනෙකුට ඒ යුද්ධය අවසන් කිරීමට නොහැකි වුණා. එදා ගෙදරින් එළියට ගිය දරුවා හවස ගෙදර එයිද කියා විශ්වාසයක් තිබුනේ නැහැ. අම්මයි තාත්තයි දෙන්න එක බස්රියක ගියේ නැහැ. එවැනි තත්ත්වයක පැවැති රටක කිසිම රාජ්‍ය නායකයෙකුට පරාජය කිරීමට නොහැකිවූ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම කියපු එල්ටීටීඊ සංවිධානය පරාජය කරලා අද අපි අත්විදින සාමය හා නිදහස උදා කරදුන්නේ අපේ පක්ෂයේ නායකයෝ.

මොකුත් කරගන්න බැරිවූ රටට කිසි දෙයක් නොකරපු රට විනාශ කරපු රටේ දේපොළ ගිනි තැබූ පුදගලයින් රටට නිදහස උදාකර බියෙන් සැකෙන් තොරව ජනතාවට සාමයෙන් ජීවත් වීමට රටක් උරුමකර රට සංවර්ධනය කළ නායකයින්ට හොරු කියා ඇඟිලි දිගු කරනවා. මේ රට බංකොළොත් කළ පුද්ගලයින් රටට නිදහස උදාකර රට සංවර්ධනය කරපු නායකයින්ට මෙවැනි කතා කීම විලාසිතාවක් වෙලා. මේ ලේබලය ගේන්නේ ඇත්තටම හොරකම් කරපු අය. නැතිනම් මේ රටේ දේපල විනාශ කළ අය. බස් ගිනි තියපු, විදුලි ට්‍රාන්ස්පෝමර් පුපුරවපු අය නැතිනම් හොරකම් කරපු අයයි. මේ අයගේ හෙළුව වසා ගැනීමට රට සංවර්ධනය කරපු නායකයින්ට හොරා කියන ලේබලය අලවනවා. ඒක අප රටේ අලු‍ත් දෙයක් නොවෙයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment