අද දිනුවොත් සටන සමයි: කණ්ඩායම හොඳ සූදානමක සිටිනවා

271

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් යුත් එක් දින තරගාවලියේ අවසන් තරගය අද (30 වැනිදා) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව පරාජය කර තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව ඇෆ්ගනිස්තානය අද තරගයට පිවිසෙන අතර අවසන් තරගය හෝ ජය ගෙන තරගාවලිය 1-1 ක් ලෙස සම මට්ටමෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද වෙහෙසෙනු ඇත.

තරඟාවලියේ පළමු තරඟයේ ජයග්‍රහණය

ඇෆ්ගනිස්තානය සතු වූ අතර ශ්‍රී ලංකාවට යම් වාසිදායක මට්ටමක් පෙන්වූ දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම ශ්‍රී ලංකාවට ප්‍රබල පාඩුවක් විය.

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන

තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගීවන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන මෙම තරගාවලිය 2023 අයිසීසී ලෝක කුසලාන තරගාවලියේ ලීග තරගාවලිය යටතේ පැවැත්වේ.

එම නිසා මෙම තරගාවලියේ ජයග්‍රහණය ඉදිරි 2023 ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වුවත් පළමු තරග දෙකේ ප්‍රතිඵලය මත තරගාවලිය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය.

අද තරගය සඳහා කණ්ඩායම හොඳ සූදානමක සිටින බවත් පළමු තරගයේ වුණු වැරදි හදාගෙන හොඳ ප්‍රවේශයක් මෙම තරගයට ලබා දීමට කණ්ඩායම සූදානම් බවත් පෙරේදා (28 වැනිදා) විවාහ ගිවිස ගෙන ඊයේ (29 වැනිදා) ක්‍රිකට් තරග පුහුණුවට පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පැවසීය.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අතර එම පුහුණු සැසිය සඳහා පෙරේදා (28 වැනිදා) විවාහ ගිවිස ගත් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වූ චරිත් අසලංක සහ කසුන් රාජිත ද සහභාගී වී සිටියහ.

පුහුණු සැසිය අතරතුරදී අද තරගය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙසේද පැවසීය.

“හැමදාම අපි බලන්නෙ තරග දිනන්න. ඒත් පළමු තරගය පරාජය වීම ගැන කනගාටුයි. අද හොඳට පුහුණුවීම් කරලා තුන්වෙනි තරගය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපිට හැම තරගයක් සඳහාම වෙනස් සැලසුම් තියෙනවා. මෙම තරගයටත් වෙනම සැලැස්මක් තියෙනවා.”

ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමෙන් පසුව තමා ලබාගත් සාර්ථකත්වය පිළිබඳව ද පැතුම් එහිදී මෙසේ අදහස් දැක්වීය.

“පටන් ගත්ත විදිහයි දැන් ඉන්න තැනයි ගැන මට සතුටුයි. අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු ලෙස කුසල් අයියා කටයුතු කිරීම මට පහසුවක්. ඔහුගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. අපි පිටිය මැද කතා කර අවශ්‍ය දේ සිදු කරනවා.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment