අද දින මැති සබයට යළි පිවිසෙන එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන

236

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ දෙවන ජනාධිපති ධුරයේ අවසානය ළඟා වනවිට දකුණේ දේශපාලන භීෂණය රට පුරා පැතිරී ගියේ කොරෝනා වසංගත රෝගයටත් වඩා වේගයෙනි. එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති හා ලේකම්වරයාද මහදවල් ඝාතනය කර දැමුණු අතර මැති ඇමැතිවරු රාශියක්ද විටින් විට අමු අමුවේ මරා දමන ලද්දේ සිත්පිත් නොමැති මෘගයන් මෙනි. මෙම කාලයේ මැතිවරණ කොට්ඨාස වල එ.ජාප. සංවිධායකවරු සිය වගකීම් වලින් ඉල්ලා අස්වූ අතර ඇතැමුන් කාටත් හොරා විදේශ ගතවිය. මේ තත්ත්වයන් හමුවේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයකු වීම පමණක් නොව ගමේ ශාඛා සමිතියක නිලයක් දැරීමද මරණ වරෙන්තුව සියත තබාගෙන සිටින්නක් බඳු විය.

මෙවන් අවදානම් අවස්ථාවක එක් තරුණයෙකු 1989 වසරේදී එක්සත් ජාතික පක්‍ෂයේ නායක එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් ගාලු දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාසයක පක්‍ෂයේ සංවිධායක ධුරයකින් පිදුම් ලැබීය. අක්මීමන ඔහු පත්කළ ආසනය විය.

එතැන් සිට තමන්ගේ පුද්ගලික වාසි ප්‍රයෝජන වෙනුවෙන් පක්‍ෂය මාරු නොකර එකම පිලක සිටින වජිර අබේවර්ධන මහතා මෙරට කීර්තිමත් දේශපාලන නායකයන් දෙදෙනකුගේ පරපුරු නියෝජනය කරන වත්මන් දේශපාලනයේ එකම නියෝජිතයාය. මෙරට කීර්තිමත් පඬිවරයකු වූද දේශපාලන නායකයෙකු හා බෞද්ධ නායකයකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමන් මෙතුමාගේ පිය පරපුරේ ඥාතියෙකු වේ. කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ ලේකම් පදවිය හෙබවූ හිටපු මුදල් ඇමැතිවරයකු මෙන්ම වැවිලි කර්මාන්ත ඇමති පදවිය හෙබවූ ඇම්. ඩී. එච්. ජයවර්ධන මහතා වජිර අබේවර්ධන මහතාගේ මවගේ මාමා කෙනෙකි. මෙම පරපුරවල් දෙකම මෙරට දේශපාලන වංශ කතාවේ උත්තුංග චරිතයන් අතරට එක්වන ප්‍රධානීන් දෙදෙනෙකි.

වජිර අබේවර්ධන හා මෙරට සම්බුද්ධ ශාසනය සමඟ ඇති මනා සබඳතාවය ඉතා ඉහළ තැනක පවතින්නකි. තම ගුරු දේවයාණන් සමඟ වස් විසීම සඳහා මාපලගමට වැඩම කළ සාමණේර හිමි නමක් වූයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ය. හාමුදුරුවන්ගේ දේහ ලක්‍ෂණ බැලූ කොරනේලිස් අබේවර්ධන නම් ගම්වැසි ප්‍රභූවරයා පැවසුවේ මේ කුඩානම දිනෙක මතු රටත් ශාසනයක් බබුළුවන මහ තෙරනමක් වන බවය. උන් වහන්සේට ඉංග්‍රීසි උගැන්වීමට ඉදිරිපත් වූ කොරනේලිස් අබේවර්ධන මහතා පිළිබඳව ශ්‍රී සුමංගල මාහිමි චරිතාපදානයන්හි විශේෂයෙන් සඳහන් වේ. එම කොරනේලිස් අබේවර්ධන මහතා වජිර අබේවර්ධන මහතාගේ පියාගේ මුත්තණුවන්ය.

ලොවක් දිනූ මහා කලාකාර ස්වාමීන් වහන්සේ නමක් වූ අතිපූජ්‍ය මාපලගම විපුලසාර මහා හිමියන් වජිර අබේවර්ධන පවුලට ලේ ඥාතිකම් ඇති හිමි නමකි. එවන් උසස් පුද්ගලයන් ජනිත වූ පවුල් පසුබිමක උපන් වජිර අබේවර්ධන මහතාගේ දෙමාපියන්ද පාසල් ගුරුවරුන්ය. පිරිමි දරුවන් තිදෙනකු අතර මද්දුමයා වූ වජිර අබේවර්ධන මහතා අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. පාසලේ උගෙන ගන්නා සමයේ විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායක පදවියත්, බෞද්ධ සංගමයේ සභාපති පදවියත් දැරූ මෙම දීප්තිමත් සිසුවා පාසල් අධ්‍යාපනය නිමාකර මොරටුව සරසවියේ අධ්‍යාපනය ලබා පිටත් වූයේ ඉංජිනේරු උපාධිය ලබාගත් අයෙකු ලෙසය.

ඉගෙනුම ලබන අතරතුරම දේශපාලනයට සම්බන්ධ විය. එක්සත් ජාතික පක්‍ෂයේ එක්සත් සමාජවාදී ශිෂ්‍ය පෙරමුණට බැඳුන වජිර අබේවර්ධන මහතා එහි ශිෂ්‍ය සම්බන්ධිකරණ නිලධාරිවරයකු ලෙස සේවයට පිවිසුනි. 1988 සිට එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරි වරයෙකු ලෙස තවත් ඉදිරියට පියවරක් තැබූ වජිර අබේවර්ධන මහතාට ගාලු දිසාවේ එජාප ජ්‍යෙෂ්ඨයන්ගෙන් ලැබුණේ සහයෝගයක් නොව මදිපුංචි කම්ය, නොතකා හැරීම්ය, අමතක කිරීම්ය. කිසිවකින් උකටලී නොවන මෙතුමා ප්‍රථම පළාත් සභා මැතිවරණයට ගාලු දිසාවෙන් තරග වැදී පරාජයට පත්වූවත් දෙවනුව පැවැත්වූ මැතිවරණයෙන් ජය ලබාගත්තේ ඉතා පහසුවෙනි.

1994 මහ මැතිවරණයට තරග කොට එයින් ජයලබා ගාලු දිසාවේ එ.ජා.ප මන්ත්‍රීවරයකු වශයෙන් මැති සබයට පිවිසියේ ඉතා තරුණ වියේදීය. මන්ත්‍රී පදවියේ සිටියදී වරක් පරාජයට පත් වූ අබේවර්ධන මහතා යළි මැතිසබයට පිවිසුනේ 2015 ජයග්‍රහණයත් සමගය. එජාපය ප්‍රමුඛ පිහිටවූ එම රජයේ ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා වූ වජිර අබේවර්ධන මහතා මුළු රටපුරා රාජ්‍ය සේවා කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යෑම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළේ කැපවීම, උනන්දුවම හා ඕනෑකම යන මූලික කරුණ හදවතේ රඳවා ගනිමිනි.

ඔහු ඇමති ධුරයන් හෙබවූ කාලවල ආරම්භ වූ එක් සුවිශේෂී ව්‍යාපෘතියක් වූයේ කොළඹ ගාලු අධිවේගී දක්‍ෂිණ මාර්ග පද්ධතියයි. එය ආරම්භ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම මුල්ගල තැබුවේ වජිර අබේවර්ධන මහතා අතිනි. සෑම ග්‍රාමසේවා වසමකම “නිල සෙවණ” යනුවෙන් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ආදී ග්‍රාමීය නිලධාරීන්ගේ සේවය එක් තැනකදී ලබාගැනීමට ඇරඹූ ව්‍යාපෘතිය වර්තමානයේ ක්‍රියාත්මක නොවුනත් ජනතාවට එයින් ලැබුණු සහයෝගය ඉතා බලවත්ය.

2020 වසරේ පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය අන්ත පරාජයකට පත්වූයේ පක්‍ෂය තුළ තිබූ අභ්‍යන්තර ප්‍රශ්න නිසා ඇතිවූ ගැටලු හේතුවෙනි. මේ නිසා එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසය තුළ ලැබූ 1956 දැවැන්ත පරාජයටත් වඩා ප්‍රබල පරාජයක් හිමිකර ගත්තේ එකම මන්ත්‍රී ආසනයකුදු නොලැබී යන තරම් අභාග්‍යයකට මුහුණ දෙමිනි. මෙම පරාජය හමුවේ කම්පා නොවුණ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල චරිතයක් වූයේ වජිර අබේවර්ධන මහතාය. පක්‍ෂ නායක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂයේ නව සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත් කිරීම නිවැරදි වේලාවට ගත් ඉතා නිවැරදි තීරණයක් විය. පක්‍ෂයේ නායකත්වය ටික කලකින් සුදුස්සෙකුට පවරා විශ්‍රාම ගැනීම රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස විය. එම නිසා එක්සත් ජාතික පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ එකම මන්ත්‍රී ආසනයද භාර නොගෙන සිටීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරගෙන සිටින ලදී.

මෙම අවස්ථාවේ පක්‍ෂයේ නව සභාපතිවරයා වශයෙන් එක්සත් ජාතික පක්‍ෂය නැවත සංවිධානය කිරීමේ පියවර ගාල්ලෙන්ම ආරම්භ කළ වජිර අබේවර්ධන මහතා තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස දහයට ගොස් පක්‍ෂ ආසන බල මණ්ඩල රැස්කරමින් උදාසීනව සිටි පාක්‍ෂිකයන් බලගැන් වූයේ ඉමහත් උත්සාහයකිනි.

මෙම සෑම රැස්වීමක අබේවර්ධන මහතා පැවැසූ විශේෂ ප්‍රකාශයක් විය. එනම් දේශපාලන විiාව අනුව එක ආසනයකින් මැති සබයට පිවිසි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වී ජනාධිපතිවීමටත් ඉඩ ලැබෙනවා යනුවෙනි. එය අද එලෙසම ඉටුවී ඇති ආකාරය ඉතා අපූරුය. මෙම ප්‍රකාශය එදා ඇසූ පාක්‍ෂිකයන් බඩ අල්ලාගෙන සිනාසුනේ මෙය කිසිසේත්ම ප්‍රායෝගික නොවන ප්‍රකාශයක් නිසාය. හික්කඩුවේ සුමංගල හාමුදුරුවන් පුංචි සාමණේර අවදියේදී දැක මේ අනාගතයේදී රටත් සසුනත් බබළවන මහා පින්වත් හාමුදුරු නමක් යනුවෙන් ප්‍රකාශ කිරීමට කොරනේලිස් අබේවර්ධන ගම් ප්‍රධානියාට හැකි වූයේ නම් එතුමාගේ ලේ උරුමකම් තිබෙන එතුමාගේ මී මුණුබුරාට මෙලෙස දේශපාලන පර්යේෂණයන්හි ප්‍රතිඵල කීම අපහසුවක් නොවන බව මම සිතින් සිතා ගත්තෙමි. මේ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ ජනාධිපති පදවියට පත්වී අවසානය.

1956 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායක ධුරයක් නොමැතිව මන්ත්‍රී ධුර අටකට සීමාවී පරාජය වෙද්දී ජේ. ආර්. ටද මන්ත්‍රී ධුරය අහිමිවී තිබුණි. ජේ. ආර්. පක්‍ෂයේ නායකයන් නොමැතිව පක්‍ෂය සංවිධානය කර පරාජයෙන් වසර හතරකට පසු යළි රටේ බලය ලබාගත්තේ උපක්‍රමශීලීව වැඩ කිරීමෙනි. එදා ජේ. ආර්. ගේ භූමිකාව මෙදා ක්‍රියාවට නැංවූ පුද්ගලයා වජිර අබේවර්ධනයන්ය. ඔහුටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මෑතදී ලැබුණු සියලු තනතුරු පිනට ලැබුණු පිං තනතුරු ලෙස හඳුන්වන දේශපාලන අඳ බාලයෝ එය කියනුයේ අප රටේ දේශපාලන ඉතිහාසය මනාව හඳුනා නොමැති බාලයන් නිසාය. 1960 ජූලි 21 වෙනි දින ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස සිරිමා බණ්ඩාරනායක මැතිණියට දිවුරුම්දීමට ලැබුණේ පිනට ලැබුණු පින් අගමැතිකමක් ලෙසය. මන්ද මැතිණිය අගමැතිණිය වූයේ කිසිම ඡන්ද කොට්ඨාසයකට තරග නොකර සෙනෙට් සභාව හරහා මන්ත්‍රීවරියක් වීමෙනි. ඇය මැතිවරණයකට තරග කළේ ප්‍රථම වතාවට 1956 දීය. ලෝකයේ ප්‍රථම අගමැතිනියත් බිහිවූයේ පිනට නම් ඊට වසර හැටදෙකකට පසු පිනට ජනාධිපති පදවියක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණා කීමත්, වජිර අබේවර්ධන මහතාට පිනට මන්ත්‍රී පදවියක් ලැබුණා කීමත් ඉතිහාසයට සරදම් කිරීමකි.

අහුන්ගල්ලේ දේ.සු.ද සොයිසා

advertistmentadvertistment
advertistmentadvertistment