අද පාරට බැහැලා රජය විවේචනය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ නිසයි

72

එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන

දේශපාලන එදිරිවාදිකම්වලින් හා පරස්පර විවේචනයන් මගින් ශ්‍රී ලංකාව තවදුරටත් පරාජිත ජාතියක් බවට පත්වන බවත්, මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීමට නම් සියල්ලන්ම එකට එකතු වී රට වෙනුවෙන් ප්‍රමුඛස්ථානයක් ලබාදී කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම. වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15 දා) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“දේශපාලන එදිරිවාදිකම්වලින් හා පරස්පර විවේචනයන් මගින් ශ්‍රී ලංකාව තවදුරටත් පරාජිත ජාතියක් විදිහට පරිවර්තනය වෙනවා. පටු දේශපාලන අදහස් හා වාසිවලට වඩා රට ගැන කැක්කුමකින් කටයුතු කළ යුතු අවදියක් තමයි දැන් අපි පසුකරමින් සිටින්නේ. මේ අවස්ථාවේදී තවදුරටත් භේදබින්න වෙලා, බෙදී දුරස්වෙලා කටයුතු කිරීම යනු ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට මහත් බාධාවක් විය හැකියි. මේ රට ගොඩගැනීමේ ප්‍රයත්නයට හරස් කපන ක්‍රියාවක් විය හැකියි. එබැවින් සියල්ලන්ම රට ගැන ප්‍රමුඛස්ථානයක් ලබාදී ක්‍රියාකළ යුතුයි.

දේශපාලන පිල් බෙදීම්වලින් අපට අත්වුයේ මොනවාද? අපි එකිනෙකා විවේචනය කරගැනීමෙන් ලබාගත් වාසිය කුමක්ද? මේ රට අර්බුදයට පත්වෙමින් තිබූ අවස්ථාවකදී පවා අපට එම පුරුදුවලින් මිදෙන්න බැරිවුණා. අවසානයේදී මහජනතාවට දේශපාලනය කියන ක්ෂේත්‍රය එපාම වුණා.

අද රජය විවේචනය කරන අයට එම වාතාවරණය ඇතිකරලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා දීපු නිසයි අද ඒ අය පාරට බැහැලා ප්‍රජානත්ත්‍රවාදය ගැන කතා කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ.

හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගන්න කළින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියා තමන්ගේ ආරක්ෂාව ගැනවත් මේ අයට කතා කරන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඒ යුගය දැන් මේ අයට අමතකයි. තමන්ව මහජනතාව හඳුනාගතහොත් අනතුරක් වේවියැයි බියෙන් කොරෝනාවලට දාන්න කියපු මුඛ ආවරණය යොදාගෙන මුහුණ වසාගෙන මහජන නියෝජිතයන් බියෙන් ගමන් බිමන් ගිය ඒ කාලය දැන් මේ අයට අමතකවෙලා තිබෙනවා.

නැවත වරක් අප භේද භින්න වීමෙන්, ආපසු වෛරය වැපිරුවහොත්, තවත් වරක් ක්‍රෝධය වැපිරුවහොත්, එය රටට පමණක් නොව තමන්ටත් විශාල අවාසියක් විය හැකියි. සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල වෛරය වපුරන විශාල කණ්ඩායමක් ඉන්න බව අපට පේනවා.

අද වීදිවල බැලුවම වාහන රාශියක් ගමන් කරනවා දකින්නට පුළුවන්. වාහනවලට ඇතිතරම් ඉන්ධන තියෙනවා. හැබැයි මාස කිහිපයකට පෙර වාහනවලට ඩිසල්, පෙට්රල් වැනි ඉන්ධන සොයාගන්න බැරිව, නිවසේ ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය ගෑස් සිලින්ඩරයක් ලබා ගැනීමට බැරිව ජනතාව විශාල දුකක් වින්ඳා. දින ගණන් වීදිවල, පෝලිම්වල දිවා රෑ රස්තියාදු වුණා. අද එහෙම වාතාවරණයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව එම තත්ත්වය වෙනස්කළා.

අද රජය විවේචනය කරන අයට, රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරන අයට, පසුගිය 2021 වසරේ දෙසැම්බරයේ සිට මේ රට මුහුණදුන් අර්බුදකාරී අවස්ථාවන් හි රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ඨ කරන්න අවස්ථාවක් තිබුණා. රට ගොඩනැඟීමට තමන්ගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්න තිබුණා. එහෙම වුණානම් ඒ අයට ජනාධිපති තනතුරටත් පත්වෙන්න තිබුණා. හැබැයි ඒ අයගේ නොහැකියාව හේතුවෙන් එම අවස්ථාව ඔවුන්ට අහිමිවුණා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment