අද රටේ කොතැන ගියත් ජනතාව කියන්නේ මේ ක්‍රමය වෙනස් කළයුතු බවයි – අනුර කුමාර දිසානායක බියගමදී කියයි

97

ආණ්ඩුව ඡන්දය නොතියන්න කරන සියලු කුමන්ත්‍රණ පාර්ලිමේන්තුවේදීත්, අධිකරණයේදීත් මහපාරේදීත් පරාජය කරනවා. අධිකරණය තියෙන්නේ ජනතාවගේ මූලික අයිතීන් තහවුරු කරන්නයි. අධිකරණය කළ යුත්තේ ඡන්දය කල්දැමීම නොව ජනතාවගේ ඡන්ද ප්‍රකාශන අයිතිය රැකදීම යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජනබලවේගයේ බියගම ආසන සමුළුවට එක්වෙමින් පෙරේදා (22දා) බියගම පැවැති ජනහමුවේදී අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද ත්‍රීවිල් එකකට නැග්ගත්, කඩේකට ගියත් මුදලාලි කියන්නෙත්, ගොවි ගම්මානයකට ගියොත් ගොවියන්ගෙන් ඇහෙන්නෙත්, ධීවර ගම්මානවල ධීවරයො කියන්නෙත්, රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු අය කියන්නෙත් එකම දෙයයි… ඒ මේ රට ගමන් කරමින් තිබෙන මාවත වෙනස් කරන්න ඕන, මේ විදියට යන්න දෙන්න බෑ මේක වෙනස් කරන්නම ඕන කියලා.

ජනතාව මීට පෙර වෙනස් කරන්න ඕන කියලා එක එක ආණ්ඩු ගෙනාවා. වෙනස් කරන්න ඕන කියලා ජනතාව කතිරෙ ගැහුවට පාලකයො වෙනස්වෙලා නෑ.

මහබැංකුව මංකොල්ල කාපු රනිල්ව හිරේ යවන්න, ලොකුම වෙනසක් කරන්න ඕන කියලා ගෝඨාභයව ගෙනාවා. පාස්කු ප්‍රහාරයට රනිල්ට දඬුවම් දෙන්න ඕන කියලා රනිල්ව ගෙදර යවලා ගෝඨාභය ජනාධිපති කළා. දැන් ජනාධිපති ගෝඨා ගෙදර රනිල්ව ජනාධිපති කරලා.

පසුගිය ඡන්දෙදී මහර ආසනයේ ජනතාව ලසන්ත අලගියවන්නට කතිරෙ ගැහුවා රනිල් ගෙදර යවන්න කියලා. ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු ඇවිල්ලා කතිරෙ ගහනවා රනිල්ව ජනාධිපති කරන්න. ගම්පහ ප්‍රසන්න රණතුංගටත් ජනතාව කතිරේ ගැහුවෙ රනිල්ව ගෙදර යවන්න. ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු ඇවිත් කතිරෙ ගහනවා රනිල්ව ජනාධිපති කරන්න.

යූ. එන්. පී කාරයො හිටියෙ කැපුවත් කොල කියලා. ශ්‍රී ලංකා කාරයො කිව්වේ කැපුවත් නිල් කියලා. නායකයො කිව්වෙ අපි පක්‍ෂ දෙකක්, වැඩපිළිවෙළවල් දෙකක්, ප්‍රතිපත්ති දෙකක්, ඉලක්ක දෙකක් කියලා. ඡන්දයක් ඉවරවුණාම යූ. එන්. පී කාරයා ශ්‍රී ලංකා අයගෙ ගෙවල්වලට ගල් ගැහුවා, ගිනි තිබ්බා, ඝාතන කළා. ශ්‍රී ලංකා අයත් එහෙම යූ. එන්. පී අයට කළා. දැන් දෙකේම නායකයෝ කිරිබත් කවා ගන්නවා. පක්‍ෂ දෙකක් කියලා ජනතාවට පෙන්නුවට මෙයාලා පක්‍ෂ දෙකක් නෙමෙයි. ඔක්කොම එක පක්‍ෂයක්. ඉස්සර ඡන්ද පත්‍රිකාවේ දෙකක් හැටියට හිටියා. දැන් ඡන්ද පත්‍රිකාවෙත් එකක් වෙලා.

ඡන්දය නොතියන්න රනිල් වික්‍රමසිංහ එක එක ගැට යොදනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ලවා දිසාපතිවරුන්ට ලියුමක් යැව්වා නාමයෝජනා ඇප මුදල් භාරගන්න එපා කියලා. එය කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කියලා.

මා එක්තරා ඇමැතිවරයකුගෙන් ඇහුවා ඔබ ව්‍යවස්ථාව නීතිය ගැන නිතර කතා කරන කෙනෙක් නිසා ඡන්දය කල්දැමීමේ කැබිනට් තීන්දුවට අත ඉස්සුවද කියලා. ඔහු කිව්වා එහෙම තීන්දුවක් ගත්තෙ නෑ කියලා. පසුව මං පාර්ලිමේන්තුවේදී මේ ගැන විමසුවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ එහෙම තීන්දුවක් කැබිනට් මණ්ඩලය නොගත් බවයි.

කැබිනට් ලේකම්වරයා ලියුමක් යවා තිබෙනවා රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට එවැනි තීන්දුවක් ගත් බවට. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්දයට හිතාමතා බාධා පැමිණවීම වසර තුනක සිරදඬුවම් ලැබීමට තරම් වරදක්.

කැබිනට් ලේකම් වරයාත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වරයාත් වහාම රටට ප්‍රකශයක් කරන්න ඕන එම ලිපිය හිතාමතා ලිව්වාද නැත්නම් රනිල් වික්‍රමසිංහ ලියුම ගැහුවාද කියලා.

මුලින් රනිල් වික්‍රමසිංහ කිව්වෙ පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව අටදාහ හාරදහස කරන තුරු ඡන්දය පවත්වන්නෙ නෑ කියලා. ඔහුට පළමු කුමන්ත්‍රණටය හකුළා ගන්න සිදුවුණා. ඊළඟට සීමා නිර්ණ ගෙනාවා. ඒකත් හකුළා ගන්න සිදුවුණා. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකුට මරණ තර්ජන කර තිබෙනවා. අපි පොලිසියට කියනවා කවුද එම මරණ තර්ජනය කළේ කියල පරීක්‍ෂණ කරන්න කියලා. රනිල් වික්‍රමසිංහගේ දුරකථනයත් පරීක්‍ෂා කරන්න කියලා අපි පොලිසියට කියනවා.

භාණ්ඩාගාරික ලේකම්වරයා අධිකරණයට ලියුමක් දෙන්න සැලසුම් කරලා තියෙනවා ඡන්දෙ තියන්න සල්ලි නෑ කියලා. භාණ්ඩාගාර ලේකම්වරයා හිතාමතා ඡන්දය කල් දැම්මේ කුමන්ත්‍රණයට හසුවෙලා. නීතියට අනුව වසර තුනක් බන්ධනාගාර ගත කිරීමට තරම් වරදක්.

ආපු හැම ආණ්ඩුවක්ම කළේ ජනාධිපති පුටුවේ ඉඳගෙන භාණ්ඩාගාරය හිස්කරපු එක විතරයි. රට හදන්නේ නෑ.

අද ජනතාවගෙ හදවතේ රැව් පිළිරැව් දෙන ඔවුන් කෑ ගසා කියන දේ තමයි හොරුන්ට දඬුවම් දෙන්න කියලා.

2015 දී මෛත්‍රීපාල සිරිසේන කිව්වා හොරුන්ට දඬුවම් දෙනවා. මහින්දට, බැසිල්ට පැනලයන්න දෙන්නේ නෑ එයාර්පෝට් වහනවා කියලා. අන්තිමට මෛත්‍රි මහින්දට අගමැතිකමත් දුන්නා.

දූෂිතයන්ට දඬුවම් දිය හැක්කේ දූෂිත ව්‍යාපාරයකට පමණයි. ලංකාවේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයකට තියෙන්නේ ජාතික ජනබලවේගය පමණයි. ජාතික ජනබලවේගයෙන් පමණයි දූෂිතයන්ට දඬුවම් කළ හැක්කේ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික, ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා

එළැඹෙන මැතිවරණයෙන් බියගම ප්‍රාදේශීය සභාවේ බලය නියතවම ජාතික ජනබලවේගය අත්පත් කරගන්නා බව අද මේ බියගම සමුළුවේ ජනගඟ ලෝකෙටම පණිවුඩය දීලා තිබෙනවා.

කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර, ආචාර්ය අසෝක රන්වල, නීතිඥ ලාල් කුමාරප්පේලි ඇතුළු විද්වතුන් රැසක් මෙහිදී අදහස් දැක්වූහ.

කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනුර කරුණාතිලක, මහාචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය අනුෂා නිල්මිණි සල්වතුර, මංගල කීර්ති පැස්කුවෙල්, අශ්වර් මුතීර් මව්ලවි, අසෝක පීරිස්, මිත්‍ර කපුගේ ඇතුළු විද්වත්හු ඇතුළු විශාල ජනතාවක් මෙම සමුළුවට සහභාගි වූහ.
ධම්මික සල්වතුර – ඩබ්. ඩී. විතාන දෙල්ගොඩ, සුදත් පුබුදු කීර්ති – බියගම

advertistmentadvertistment
advertistmentadvertistment