අද වර්ජනයට යහපත් ප්‍රතිචාරයක් නැතිනම් ජනතාව සමඟ අරගලයකට

220

විදුලි බිල අඩුකිරීම, බැංකු පොලී අනුපාතය අඩුකිරීම, රුපියල් 20,000 ක ජීවන වියදම් දීමනාව ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද (15 දා) එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මණ්ඩල සභික චන්දන සූරියආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (14 දා) පැවසීය.

ඒ අනුව අද ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්, සමෘද්ධි කළමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන හා ක්ෂේත්‍රගත කාර්යාලගත නිලධාරීන් වැඩවර්ජනයේ නිරතවන බව ද ඒ මහතා කීය.

අද දවසේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, රජයේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල කටයුතු සිදු නොවන බව පැවසූ ඒ මහතා තවදුරටත් මෙසේ ද කියා සිටියේය.

අද අපි එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර පාලකයන්ගේ ප්‍රතිචාරය බලනවා. අපේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත්නම්, නැවත වෘත්තීය සමිති රැස්වෙලා සාකච්ඡා කර, ජනතාවත් සම්බන්ධ වෙච්ච අරගලයක් ක්‍රියාත්මක කරනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment