අද සරසවිවල ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වැඩ කරන්නේ තලේබාන්ලා වගෙයි

148

මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
බුදු හාමුදුරුවන්ගේ මග යන්නේ නෑ
සහරාන් වගේ කොණ්ඩ රැවුල් වවාගෙන

“අද පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය ඇතුළු සරසවිවල තිබෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ තලේබාන්ලා වගේ වැඩ කරන්නේ. ලෙනින්ගෙන් න්‍යායට තමයි ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවන්ගේ, ශාස්තෘන් වහන්සේ මග යන්නේ නැහැ” මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ පෙරේදා (18දා) පස්වරුවේ දේශීය සහ විදේශීය දානපතීන්ගෙන් සැදුම්ලත් මෙත්සිත් සමාජ සත්කාර සේවය මගින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් සිය දෙනකුට පාසල් උපකරණ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අනුශාසනාවක් කරමිනි. එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ පිළිබඳව මම ජනාධිපතිතුමාට දැනුම් දෙන්න කැමතියි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙපාරක් ලිව්වත් අසමත් වෙන ළමයින්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න ඕනේ. මේ විභාග දෙකම දෙපාරක් ලිව්වාම ඇති. ඊට පස්සේ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනෑ.

ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා දෙකක් තියෙනවා. එම සිසුන් අවුරුදු 3ක් 4ක් ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරව යා යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. සහරාන් කියන පුද්ගලයා රැවුල වවාගෙන තමයි මැරුණේ. ඊට පස්සේ ගොඩක් මිනිස්සු සහරාන්ලා වගේ වෙන්න පටන් ගත්තා. රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, හාමුදුරුවන් වහන්සේ කොණ්ඩ, රැවුල වවන්න පටන් ගත්තා.

මහෝපාධ්‍ය හාමුදුරු කෙනෙක් මේ ළඟදි කියලා තිබුණා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පීඨ, ඒවායේ ඉගෙන ගන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ සිටින ස්ථාන උතුරේ වඩමාරච්චි ප්‍රදේශය වගේ කියලා, යුද්දේ කාලේ උතුරේ මුදා නොගත් ප්‍රදේශයක් තමයි වඩමාරච්චි කියන්නේ. දැන් භික්ෂූන් වහන්සේ රථ වාහන පදවාගෙන දාන මානවලට ගමන් කරනවා. ඒවා මිනිස්සු හරි අප්‍රිය කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හැසිරුණාම තිස් හතළිස්දාහක් භික්ෂූන් වහන්සේ ඔක්කොටම ජනතාව බනිනවා. ඒවටත් අණ පනත් නීති රීති ගේන්න ඕන.

සරසවි ශිෂ්‍යයන් දේශපාලනය කළාට කමක් නැහැ. ඒව කරන්න පුළුවන් අනිත් අයට හිංසාවක් නොකර. සරසවි සිසුන්ටත් එහෙම තමයි කියන්න තියෙන්නේ. මේ වගේ පුංචි දරුවෝ මල් කැකුළු තමයි මේ සරසවිවලට යන්නේ. ඒ සරසවිවලට ගිහිල්ලා ඒ අය අම්මලා තාත්තලගෙ බලාපොරොත්තු නෙවෙයි ඉෂ්ට කරන්නේ ලෙනින්ගෙ න්‍යාය.

ශිෂ්‍ය සංගම්වල දරුවෝ එක එක දේශපාලන පක්ෂවලට ගිහින් ඒ පක්ෂවල ඉත්තන් බවට පත්වෙලා කඳුළු ගෑස් කනවා. ඊට පස්සේ ඒ දරුවෝ හිරේට යනවා. ඊට පස්සේ පාස්පෝට් එකක් හදා ගන්න බෑ. පොලිසියෙන් චරිත සහතිකයක්වත් ගන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා මේවට වහා අණ පනත් ගෙන ආ යුතුයි”

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment